වසර 4කට පසු නැතිවූ බෝයාවක් සොයා ගනී

මාර් 31, 2019

    මඩකළපුව මුහුදු ප්‍රදේශයේ දී අතුරුදහන් ව තිබූ නාරා ආයතනයට අයත් බෝයාවක් වසර 4 කට පසුව සොයාගැනේ

    සාගරයේ ඉතා වටිනා දත්ත ලබාගැනීම සඳහා ජාතික ජලජ සම්පත් සංවර්ධන හා පර්යේෂණ නියෝජිත ආයතන‍යට (නාරා) අයත්ව තිබු ශ්‍රී ලංකාව සතු එකම බෝයාව සොයාගැනීමට හැකි වී තිබේ. නාරා ආයතනයට අයත් සමුද්‍රිකා සාගර පර්යේෂණ නෞකාව මඩකලපුව ප්‍රදේශ‍ෙය් මුහුදු පතුලේ පර්යේෂණවල නිරතව සිටියදී අතුරුදහන්ව තිබු මෙම බෝයාව සොයාගැනීමට හැකි වී ඇත.

    මෙම බෝයාව සොයාගැනීමට හැකි වුයේ වසර 04 කට පසුවය. මෙම බෝයාව සොයාගැනීම සඳහා ජාතික ජලජ සම්පත් සංවර්ධන සහ පර්යේෂණ නියෝජිතායතන‍ය (නාරා) ඉකුත් වසර කිහිපය පුරාම සාගරයේ මෙහෙයුම් රැසක් සිදුකරනු ලැබුවත් මෙම බෝයාව සොයාගැනීමට නොහැකි විය. නමුත් නාරා ආයතනයේ ජල ශාස්ත්‍රීය අංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජල ශාස්ත්‍රීය අංශය ඒකාබද්ධව සිදුකළ ගවේෂණයේදී මෙම බෝයාව සොයාගැනීමට හැකි විය.

    ශ්‍රී ලංකාව වටා සාගරයේ මෙම ඉතා වටිනා දත්ත රැස්කිරීමේ මෙම බෝයාව ඇමරිකාවේ ජල ශාස්ත්‍රීය අංශය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබුණි. එලෙස ලැබුණු මෙම බෝයාවන් මඩකලපුව සාගර ප්‍රදේශයේ දත්ත රැස්කිරීම සඳහා ස්ථානගත කර තිබියදී අතුරුවන්වූ බවට වාර්තා විය. මෙම අතුරුදහන් වීම ධීවර කාර්මිකයින්ගේ අපරික්‍ෂාකාරී කටයුතු හේතුවෙන් සිදුව ඇති බවට එකල චෝදනා එල්ල විය.

    මෙම බෝයාවන් සොයාගැනීම වාර්තා වීමත් සමග ඇමරිකාවේ ජල ශාස්ත්‍රීය අංශය සිය ප්‍රසංශාව නාරා ආයතනයේ ජල ශාස්ත්‍රීය අංශයට සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජල ශාස්ත්‍රීය අංශයට මෙන්ම ශ්‍රී ලංකාවට පිරිනමා ඇත.

    සාගරයේ උෂ්ණත්වය, මත්ස්‍ය ගහණයේ හැසිරීම වැනි දත්ත මෙම බෝයාවන්වල අන්තර් ගත වේ. එම දත්ත විශ්ලේෂණය මගින් ධීවර කර්මාන්තයේ ඉදිරි සැලසුම් මෙන්ම අනාගත අභියෝග හදුනාගැනීමට මෙන්ම එම අභියෝග සඳහා මුහුණ දීමට වඩාත් ප්‍රායෝගික වැඩපිළිවෙල සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලැබෙන බව ජල ශාස්ත්‍රීය අංශ පවසයි.

    සොයාගත් මෙම බෝයාවන් හි ඉකුත් වසර 04 ට අදාළ සියළු දත්ත සුරක්‍ෂිතව ගබඩා වී ඇති බව බෝයාවන් සොයාගත් ජල ශාස්ත්‍රීය කණ්ඩායම පවසති. එම කණ්ඩායම පවසන්නේ මෙවැනි සාගර පතුලේ වටිනා දත්ත රැස්කිරීමේ බෝයාවන් නාරා ආයතනයට හැර ලංකාවේ වෙනත් කිසිදු ආයතනයක් සතුව නොමැති බවය.

    Latest News