ආචාර්යවරුන්ගේ හිඟයෙන් බැටකන රාජ්‍ය විශ්වවිද්‍යාල

අගෝ 25, 2023

    රාජ්‍ය විශ්වවිද්‍යාලවල 50% ක පමණ ආචාර්යවරුන්ගේ පුරප්පාඩු ප්‍රමාණයක් පවතින බවට, අනාවරණය වී තිබෙනවා.

    සමස්ත රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියම නවීකරණය කිරීම සඳහා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පිළියෙළ කළ ජාතික උපායමාර්ගික සැලැස්ම ඊයේ කෝප් කමිටුවට ඉදිරිපත් කළ අවස්ථාවේ මේ බව හෙළි කෙරුණා. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියම නවීකරණය කිරීම සඳහා ජාතික උපායමාර්ගික සැලැස්මක් සකස් කිරීමේ වගකීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට භාර දී තිබුණා.

    මෙම සැලැස්ම පිළිබඳ අවධානය යොමු කර, සති දෙකක් ඇතුළත කාර්ය සාධක බලකායක් පත් කොට වාර්තාවක් ලබා දෙන ලෙස කෝප් කමිටුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දුන්නා. මෙරට විශ්වවිද්‍යාලවලින් 50% ක් පමණ හෝ පර්යේෂණ විශ්වවිද්‍යාල බවට පත් විය යුතු බවද, රංජිත් බණ්ඩාර මහතා පෙන්වා දුන්නා.

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 12,992 ක් සිටිය යුතු වුවද, මේ වන විට සේවයේ නියුතුව සිටින්නේ, ආචාර්යවරුන් 6,548 ක් පමණක් බව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළා. එසේම, අනධ්‍යන කාර්ය මණ්ඩලයේ ද මෙම තත්වය දැකිය හැකි බැවින්, මෙය විසඳා ගැනීමට කටයුතු කළ යුතු බව, ඔහු පෙන්වා දුන්නා.

    මෙරට ආර්ථික අර්බුදය සමග ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් රට හැරයාම ගැටලුවක් බවට පත්ව තිබෙනවා. ‍සම්පත් අමරතුංග මහතා මෙහිදී අවධාරණය කළේ, අවම වශයෙන් ආචාර්යවරුන් 1,000ක පමණ ප්‍රමාණයක් බඳවා ගත යුතු බවයි.

    Latest News