ඉතා අසීරු කාලයක් පසුකරමින් සිටියත්, කිසිවෙකු කුසගින්නේ නොතබන බව ජනපති අවධාරණය කරයි...

ඔක් 15, 2022

    සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය ඉවත දමා ආහාර සුරක්ෂිතතාව ඇතිකර ජනතාවගේ ආහාර ගැටලුව විසඳන වැඩපිළිවෙළට සියලු දෙනා එක්විය යුතු බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

    ජනාධිපතිතුමා කියා සිටින්නේ, මේ වන විට ඉතා අසීරු කාලයක් පසුකරමින් සිටියත්, කිසිවෙකු කුසගින්නේ නොතබන බවයි. අම්පාර, හාඩි උසස් තාක්ෂණ ශ්‍රවණාගාරයේ පැවැති හමුවකදී ජනාධිපතිතුමා මේ අදහස් පළකළා. ආහාර සුරක්ෂිතතාව සහ ‍පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහුආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය පිළිබඳ රාජ්‍ය නිලධාරින්  දැනුවත් කිරීමේ අම්පාර දිස්ත්‍රික් වැඩසටහන පැවැත්වුණේ, ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන සාර්ථකව ගෙන යමින් 2023 ඇති විය හැකි ගෝලීය ආහාර අර්බුදයට ශක්තිමත්ව මුහුණ දිය යුතු බව ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියා.   

    මෙරට වී නිෂ්පාදනයෙන් සියයට 22ක් අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව විසින් නිෂ්පාදනය කරනු ලබන අතර ඉදිරි කන්නවල අස්වැන්න සාර්ථක කරගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා. සාකච්ඡාවට සහභාගී වු රාජ්‍ය නිලධාරීන් අතරට ගිය ජනාධිපතිතුමා  ඔවුන් ක්ෂේත්‍ර කටයුතුවලදී මුහුණ දෙන ගැටලු සහ දුෂ්කරතා පිළිබඳව ඍජුවම ඇහුම්කන් දීම විශේෂත්වයක්. අම්පාර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික සහ ධීවර ගැටලු පිළිබඳව ද විශේෂ අවධානය යොමුකළ ජනාධිපතිවරයා ඒවා විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට ද උපදෙස් ලබාදුන්නා.

    මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. සාකච්ඡාවෙන් අනතුරුව හාඩි ‍ගොවිපළේ, නිරීක්ෂණ චාරිකාවකට එක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ගොවිපළ පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළා.

    Latest News