මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩිවේ...(විසිආර්)

ඔක් 02, 2022
  • ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ත් 70 ත් දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    තද සුලං හා රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව ප්‍රකාශ කළා. මුහුදු රළ මීටර් 2.5ත් 3ත් අතර ප්‍රමාණයකින් ඉහළ යාමේ හැකියාවක් පැවතීම හේතුවෙන් එම මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ගාල්ල සිට පුත්තලම සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ‍සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් දක්වා වැඩි විය හැකියි.

    මුහුදු රළෙහි උස මීටර් 2ත් 2.5ත් අතර ප්‍රමාණයකින් ඉහළ යාමේ හැකියාව පැවතීම නිසා එම මුහුදු ප්‍රදේශයද රළු විය හැකියි. ඒ අනුව, ඉදිරි පැය 24ක කාලය තුළ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළ ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වල නොයෙදෙන ලෙස ජනතාව වෙත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ගාල්ල සිට කොළඹ හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල රැකියා කරන ධීවරයන් සහ නාවික ප්‍රජාව ද මේ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු වනවා.

    Latest News