කාබනික පොහොර භාවිත කරන වී ගොවීන්ට රුපියල් 20,000 ක පොහොර සහනාධාරයක්...

සැප් 16, 2022

    ‍‍මහ කන්නයේ දී කාබනික පොහොර භාවිත කරන වී ගොවීන්ට හෙක්ටයාර් එකකට රුපියල් 20,000 ක පොහොර සහනාධාරයක් ලබා දීමට  මුදල්  කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

    ඒ අනුව, රජය එම සහනාධාරය සඳහා වෙන් කිරීමට නියමිත මුදල රුපියල් මිලියන 16,000 ක්. ‍එක්සත්ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඊයේ (15) සංවිධාන කළ වැඩසටහනකට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද ‍අමරවීර මහතා මේ පිළිබඳ අදහස් පළ කළා. එළඹෙන මහ කන්නයේ දී 30% ක් කාබනික  පොහොර හා 70% ක් රසායනික පොහොර යොදා වී වගා කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබෙනවා.

    ඒ අනුව, කාබනික පොහොර භාවිතය දිරිමත් කිරීම සඳහා එම පො‍හොර භාවිත කරන වී ගොවීන්ට රුපියල් 20,000 ක සහනාධාරයක් ලබා දීමට නියමිතයි. රසායනික පොහොර භාවිත කරන වී ගොවීන්ට මෙම කන්නයේ දීත්, කිලෝ 50 ක යූරියා ‍ පොහොර මිටියක් රුපියල් 10,000 ක මුදලකට නිකුත් කිරීමට ජනාධිපතිවරයා විසින් අනුමැතිය ලබා දුන් බවද, අමාත්‍යවරයා සඳහන් කළා. 

    කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ, පසුගිය කාලයේ මෙන් වැව්වලින් කපා ගන්නා ලද පස් හා විවිධ  අපද්‍රව්‍ය සහිත ගුණාත්මක භාවයෙන් තොර කාබනික පොහොර සැපයීමට යම් ආයතනයක් කටයුතු කළ හොත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන අතර, ඔවුන් අසාදු ලේඛන ගත කිරීමට පියවර ගන්නා බවයි.

    Latest News