ඇඟලුම් කර්මාන්තයේ දියුණුවට රජයේ සහය අඛණ්ඩව ලබා දෙන බව අගමැති පවසයි...

සැප් 11, 2022

    ඇඟලුම් කර්මාන්තයේ දියුණුවට රජයේ සහය අඛණ්ඩව ලබා දෙන බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

    ඒකාබද්ධ ඇඟලුම් කම්හල් සංසදයේ නියෝජිත පිරිසක් සමග පසුගියදා පැවති හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.  හමුව පැවැත්වුණේ, කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී. පවතින වාතාවරණය යටතේ, ඇඟලුම් අපනයනකරුවන්ගේ ඔරොත්තුදීමේ හැකියාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මෙහිදී සිය ස්තූතිය පළ කළා. දේශීය හා ජාත්‍යන්තරව ආර්ථික පසුබෑමක් පැවතියත් අපනයන වර්ධනයක් පෙන්නුම් කිරීම පිළිබඳව දිනේෂ් ගුණවර්ධන මහතා ඔවුන්ට කෘතවේදීත්වය පළ කළා. ලබා දී ඇති පහසුකම් විධිමත් කිරීමට රජය ක්‍රියා කරමින් සිටිනවා.

    ඇඟලුම්, රටේ වැදගත් කර්මාන්තයක් ලෙස තහවුරු වී ඇති බැවින් වැඩි විදේශ ආයෝජන ලබා ගන්නා ලෙසත්, ව්‍යාපාර කටයුතු පුළුල් කිරීම සහ තවදුරටත් විවිධාංගීකරණය ගවේෂණය කරන ලෙසත් අග්‍රාමාත්‍යවරයා නියෝජි පිරිසෙන් ඉල්ලා සිටියා.    ඇතැම් රාජකාරි සහ භාණ්ඩ ප්‍රවාහනය සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව ඒකාබද්ධ ඇඟලුම් කම්හල් සංසදයේ සභාපති ෂරාද් අමලීන් මහතා සාකච්ඡාවේදී පැහැදිලි කළා.

    විවිධ ඉදිරිපත් කිරීමේ ගාස්තු, බලශක්ති සහ ප්‍රවාහනය හා සම්බන්ධ ගැටලු විසඳා ගැනීමට රජයේ මැදිහත්වීම මෙහිදී අවධාරණය කෙරුණා. රටට අවශ්‍ය විදේශ විනිමය ගෙන ඒමට වැඩි වෙළෙඳපොළ ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා වෙනත් රටවල් සමග තරග කිරීමට එය වැදගත් වන බව, පෙන්වා දෙනු ලැබුවා. අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා ද සාකච්ඡාවට එක්ව සිටියා.

    Latest News