ජනපති කෘෂි පර්යේෂණ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවක

මාර් 15, 2019

    කෙන්යාවේ සිව් දින නිල සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (15) දහවල් කෙන්යාවේ නයිරෝබි නුවර පිහිටි කෘෂි වන වගා පර්යේෂණ ජාත්‍යන්තර මධ්‍යස්ථාන මූලස්ථානයේ නිරික්‍ෂණ චාරිකාවක නිරත විය.

    එම මූලස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය Tony Simons මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් ඉතා ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබීය. කෘෂි වන වගාව පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ සිදුකිරීම මෙම මධ්‍යස්ථානය හරහා සිදුවන අතර වනාන්තරවල හා ස්වභාවික රක්ෂිතවල තිරසර කළමනාකරණය, ආරක්ෂාව සහ නියාමනය සඳහා විශේෂඥ දැනුම සපයයි.

    මෙම ආයතනය හරහා සිදුකරන පර්යේෂණවලින් සොයාගන්නා දැනුම රජයන්, සංවර්ධන ආයතන හා ගොවින්ට ශාකවල තිබෙන බලශක්තිය ගොවිතැනට හා එදිනෙදා ජීවිතයට වඩාත් පරිසර හිතකාමී ලෙස යොදාගැනීමට මඟපෙන්වයි.

    ශ‍්‍රී ලංකාවේ ද කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ පර්යේෂණ කටයුතු සඳහා මේ වන විට කෘෂි වන වගා පර්යේෂණ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ සහය හිමිවන අතර එම කටයුතු තවදුරටත් පුළුල් කිරීමට ජනාධිපතිතුමාගේ මෙම සංචාරයේ ප‍්‍රතිඵලයක් ලෙස කැමැත්ත පළ කෙරිණි.

    කෘෂිකර්ම පර්යේෂණ පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ කි‍්‍රයාකාරිත්වය පිළිබඳ හැදින්වීමක් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ජනාධිපතිතුමා හමුවේ ඉදිරිපත් කළ අතර එහිදී විශේෂයෙන් ශ‍්‍රී ලංකාවට අදාළ කරුණු රැසක් අනාවරණය කෙරිණි.

    එම පර්යේෂණ තොරතුරු සහ තාක්ෂණික දැනුම මගින් ශ‍්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ උනන්තියට ලබාගත හැකි දායකත්වය පිළිබඳවත්, කෘෂි වන වගා පර්යේෂණ ජාත්‍යන්තර මධ්‍යස්ථානය සමග ඉදිරියේ දී වඩා සම්බන්ධීකරණයකින් කටයුතු කිරීම පිළිබඳවත් මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය.

    මෙහි දී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුසිල් පේ‍්‍රමජයන්ත මහතා සඳහන් කළේ ශ‍්‍රී ලංකාවේ පරිසර සංරක්ෂණය සහ සොබාදහමේ තිර පැවැත්ම වෙනුවෙන් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමගේ මඟ පෙන්වීමෙන් මේ වන විට වැදගත් තීන්දු තීරණ රැසක් ගෙන ඇති බවත් එම කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමට කෘෂි වන වගා පර්යේෂණ ජාත්‍යන්තර මධ්‍යස්ථානය සමග ඉදිරියේ දී වඩා සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත්ය.

    Latest News