හිටපු ජනපති ගෝඨාභය දිවයිනට...

සැප් 03, 2022

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (03) රාත්‍රී යළි දිවයිනට පැමිණියා.

    ඒ දින 50කට පසුව, සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කියු 468 දරණ ගුවන් යානයෙන්. රාජපක්ෂ මහතා වෙනුවෙන් දැඩි ආරක්ෂාවක් යොදවනු ලැබ තිබුණා.  රටේ ඇති වු ආර්ථික අර්බුදයත් සමග ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය සම්බන්ධයෙන් ජනතාව දිගින් දිගටම විරෝධය පළකළා. ඔවුන් ඉල්ලා සිටියේ, රාජපක්ෂ මහතාට ජනාධිපතිධූරයෙන් ඉවත් වන ලෙසයි. එහි උච්චතම අවස්ථාව පසුගිය ජූලි 9 වැනිදා උදාවූ අතර අරගලකරුවන් ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරය ඔවුන්ගේ අණසකට නතු කරගත්තා.

    එම අවස්ථාවේදී අරගලකරුවන් සහ ආරක්ෂක අංශ අතර ගැටුමක් ඇති නොවන අයුරින් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළා. ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජුලි 13 වැනිදා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානයකින් මාලදිවයින බලා පිටත්ව ගියා. ඉන් පසු ඔහු සිංගප්පූරුව බලා ගමන් කළා.  පසුව තමා ජනාධිපති ධූරයෙන් ඉවත් වන බවට වූ ලිපිය සිංගප්පූරුවේ සිට ජූලි 14 වැනිදා කථානායකවරයා ‍වෙත එවනු ලැබුවා. දින ගණනාවක් සිංගප්පූරුවේ රැඳී සිටි රාජපක්ෂ මහතා තායිලන්තයට පැමිණියේ, පසුගිය අගෝස්තු 11 වැනිදායි. දින 90ක කාලයක් තායිලන්තය තුළ රැඳී සිටීමට ‍ගෝඨාභය රාජපක්ෂ මහතාට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අවසර ලබාදී තිබුණා. මෙම තත්වය තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබුණේ, ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහා මෙරටට පැමිණීමට අවශ්‍ය පරිසරය සකස්කරන ලෙසයි.

    විවිධ දේශපාලන පක්ෂ ද රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා. ඒ අනුවයි, රාජපක්ෂ මහතා සහ අයෝමා රාජපක්ෂ මහත්මිය ඊයේ රාත්‍රීයේදී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් මෙරටට පැමිණියේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මැති අමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද රාජපක්ෂ මහතා පිළිගැනීම සඳහා ගුවන් තොටුපොළ පරිශ්‍රයට පැමිණ සිටියා. දැඩි ආරක්ෂාවක් මධ්‍යයයේ රාජපක්ෂ මහතා රජය විසින් ලබාදී ඇති කොළඹ පිහිටි නිවස කරා පැමිණියා. ඒ, රාත්‍රී 12.50ට පමණයි.

    Latest News