ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ

ජූනි 22, 2022
    අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු හා නිලතළවලින් ඉවත් කිරීම සහ ඊට බාධාකිරීම වළක්වාළමින්  එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු මධ්‍යම කාරක සභාව වෙත නිකුත් කර තිබෙන වාරණ නියෝගය හෙට දින දක්වා දීර්ඝ කරන බව කොළඹ දිසා අධිකරණය නියෝග කළේය.
    මෙම නඩුව අද කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.
    එහිදී විත්තිකාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පැමිණිල්ල සමථයට පත් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් පාර්ශවකරුවන් සාකච්ඡා කරමින් සිටින බව සඳහන් කළේය.
    කෙසේ වෙතත් මෙම වාරණ නියෝගය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරිමට දිනයක් ලබා දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා දන්වා සිටියේය.
    ඒ අනුව විරෝධතාවලට යටත්ව අදාළ වාරණ නියෝගය හෙට දින තෙක් දීර්ඝ කිරීමට නියෝග කළ දිසා විනිසුරුවරිය හෙට දින අදාළ විරෝධතා ඉදිරිපත් කරන ලෙසත් විත්ති පාර්ශ්වයට නියෝග කළේය.
     ඒ අනුව මෙම නඩුවට අදාළ වාරණ නියෝගය  දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කරන බවත් ඔහු අධිකරණයට දන්වා සිටියේය.
    ඒ අනුව අදාළ විරෝධතා හෙට දින ඉදිරිපත් කරන ලෙස විත්ති පාර්ශවයට දැනුම් දුන් කොළඹ දිසා විනිසුරුවරිය හෙට දින තෙක් වාරණ නියෝගය විත්තියේ විරෝධතා වලට යටත්ව දීර්ඝ කරන බවත් නියෝග කළේය.
    නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍ය වරයා අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් කර තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්වීමෙන් පසුව අමාත්‍ය ධුර භාර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් ඉකුත් මැයි මස 13 වැනි දා පැවති බවයි.
    එම රැස්වීමේදී අමාත්‍ය ධූර බාර ගැනීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් නොගත් බව ද ඔහු සඳහන් කළේය. ඉන් අනතුරුව තමන්ව මධ්‍යම කාරක සභා රැස්වීම්වලට කැඳවීමක් නොකෙරුනු බවත් ඔහු සිය පැමිණිල්ලෙන් සඳහන් කළේය.
    ඉන් අනතුරුව රජයේ අමාත්‍ය ධුර බාර ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය දක්වමින් එම පක්ෂය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත්  ඇතැයි සඳහන් කරන පැමිණිලිකාර නිමල් සිරිපාල ද සිල්වා මහතා ඒ පිළිබඳව තමන්ව දැනුවත් කර නොමැති බවත් කියා සිටියේය.
    කෙසේ වෙතත් තමා රටේ යහපත උදෙසා අමාත්‍ය තනතුරක් භාරගැනීමට තීරණය කල අතර එහි ප්‍රතිඵලයක් ලෙස තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දරනු ලබන ජේෂ්ඨ  උප සභාපති  ඇතුළු සෙසු තනතුරු වලින්  ඉවත් කිරීමේ සූදානමක් පවතින බවට කරුණු අනාවරණය වී ඇතැයිද ඔහු කියා සිටියේය.
    මේ ආකාරයෙන් සිය නිලතල හා තනතුරු අහිමි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හෝ එහි මධ්‍යම කාරක සභාවට බලයක් නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.
    එබැවින් මෙලෙස තමන්ව පක්ෂ නිලතල වලින් ඉවත් කිරීමට කටයුතු කිරීම හෝ බාධා කිරීම වැළැක්වීමේ වාරණ නියෝගයක් සහ ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මෙම පැමිණිල්ල කොළඹ දිසා අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
    Last modified on බදාදා, 22 ජූනි 2022 12:37

    Latest News