ඉන්ධන ගැටලුවට විසඳුම් දෙන parks and Ride

ජූනි 15, 2022

    ඉන්ධන ගැටලූවට විසදුමක් ලෙස කොළඹ නගරයට ඇතුලූවන රථ වාහන අවම කිරීමේ වැඩපිළිවෙල අද (15) සිට ක්‍රියාත්මක වෙයි.

    ඒ අනූව parks and Ride ක්‍රමයට නිවසේ සිට පැමිණෙන ජනතාවට අදාළ ප්‍රදේශවල ස්ථාපිත ආරක්ෂිත රථගාල්වල සිය රථ වාහන ගාල් කර බස්රථ හා දුම්රිය මගින් කොළඹ නගරයට පැමිණිය හැකි බවයි ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කරන්නේ.

    ඒ අනුව, උදෑසන 6.30 සිට 8.00 දක්වා මාකුඹුර, කඩවත සහ කටුබැද්ද යන ස්ථානවලින් බස් රථ ධාවනය වන අතර යළිත් පස්වරු 4.00 සිට 6.00 දක්වා කොළඹ සිට මාකුඹුර, කඩවත සහ කටුබැද්ද දක්වා බස් රථ පිටත් වනු ඇති.

    මේ අතර නව දුම්රිය ගමන්වාර කිහිපයක් ද ක්‍රියාත්මක කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසූරිය පවසයි. ඔහු පවසන්නේ, අලුත්ගම සිට කොළඹ දක්වාත්, පොල්ගහවෙල සිට කොළඹ දක්වාත් නව කාර්යාල දුම්රිය ගමන්වාර හඳුන්වාදීමට මෙන්ම දුම්රිය සඳහා වැඩිපුර දුම්රිය මැදිරි එක් කිරීමටත් කටයුතු කරන බවයි.

    කොළඹට පමණක් සීමා නොවී ඉදිරියේ දී යාපනය ප්‍රදේශය සඳහා ද කාර්යාල දුම්රිය සේවයක් ලබාදීමට කටයුතු කරන බවත්, ඒ අනූව ගල්කිස්සේ සිට යාපනය දක්වා රාත්‍රී සීග්‍රගාමී දුම්රිය සිකුරාදා රාත්‍රී 10.00ට ගල්කිස්සෙන් ආරම්භ කර පසු දින උදෑසන 5.30 වන විට යාපනය දක්වා ළඟා වීමටත් ඉරිදා රාත්‍රී 10.00ට කන්කසන්තුරයෙන් ආරම්භ කරන දුම්රිය සදුදා උදේ 5.30ට කොළඹට පැමිණීමට බලාපොරොත්තු වන බවයි, සාමාන්‍යාධිකාරීවරයා පවසන්නේ.

    Latest News