ගුවන් හමුදා සංවත්සරයට ශ්‍රී පාදස්ථානයේ පරිසර වැඩසටහන් රැසක් (වීඩියෝ)

මාර් 06, 2019

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 68 ක් සපිරිම නිමිත්තෙන් ශ්‍රී පාද පුද බිම කේන්ද්‍ර කරගනිමින් පරිසර වැඩසටහන් ගණනාවක් අද (06) සහ හෙට (07) පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

    ශ්‍රී පාදස්ථානාධිපති පුජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි සහ ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතාගේ උපදෙස් මත මෙය සිදු කෙරේ. ගුවන් හමුදා භටයින් 300 කට ආසන්න සංඛ්‍යාවක් අද සහ හෙට ශ්‍රී පාද හැටන් මාර්ගයේත්, ශ්‍රී පාද රත්නපුර, පලාබද්දල මාර්ගයේත් පරිසර වැඩසටහන දියත් කරයි.

    මේ නිමිත්තෙන් අද උදැසන මස්කෙලිය සමන් දේවාලයේ විශේෂ පුජාවක් පැවැත්විණි. නල්ලතන්නියේ සිට ශ්‍රී පාද උඩමළුව දක්වා වන්දනාකරුවන් විසින් පරිසරයට මුදා හැර තිබු ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍ය පරිසරයෙන් ඉවත් කිරිම, විශ්‍රාම ශාලා අලුත් වැඩිකිරිම, සීත ගඟුල පරිසරය පිරිසිදු කිරිම, පරිසරය ආරක්ෂා කරගැනීමේ වැදගත්කම ගැන ශ්‍රී පාද වන්දනාකැරුවන් දැනුවත් කිරිම සදහා නාම පුවරු සවි කිරිම ඇතුළු පරිසර වැඩසටහන් ගණනාවක් අද (06) දියත් කෙරිණ.

    තවත් ගුවන් හමුදා භට පිරිසක් රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සේ ශ්‍රී පාද උඩ මළුව දක්වා ගමන් කර, එහි ඇති අපද්‍රව්‍ය හෙට (07) දිනයේ පහළට රැගෙන ඒමට නියමිතයි. එදින හැටන් මාර්ගය ඔස්සේ සිදු කළ පරිසර වැඩසටහන් ගණනාවක් රත්නපුර පලාබද්දල ශ්‍රී පාද මාර්ගයේත් සිදු කරන බව, එයාර් කොමදෝරු වර්ණ ගුණවර්ධන මහතා පැවසීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 07 මාර්තු 2019 10:32

    Latest News