'විදුලි ගාස්තු වැඩි කිරීමට අවසර නෑ' - PUCSL

අප්‍රේ 27, 2022

    විදුලි ගාස්තු වැඩිකිරීම සදහා කිසිදු අවසරයක් ලබා දී නැති බව, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවධාරණය කරයි. විදුලි ගාස්තු සංශෝධනය සදහා ශ්‍රී ලංකා විදුලිබල පනතේ 30 වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගත යුතු බවයි එම කොමිසම පවසන්නේ. 

    එමෙන් ම ගාස්තු සංශෝධනයක් කෙරෙන්නේ නම් සංශෝධන යෝජනාව ජනතාව වෙත ඉදිරිපත්කර මහජන අදහස් ලබාගැනීමද අනිවාර්ය වේ. එම මහජන අදහස් විමසීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වැනි වගන්තිය යටතේ පවත්වනු ලබයි.

     

    මේ පිළිබද වැඩිදුර පැහැදිලි කරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා... 

     

    ලංකා විදුලිබල මණ්ඩලය අප වෙත යෝජනා කීපයක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඩොලරය පා කිරීමට පෙර ඉදිරිපත් කල යෝජනාවට පසුව වත්මන් තත්වය යටතේ නව යෝජනාවක් පසුගියදා අප වෙත ඉදිරිපත් කළා. අපි මේ යෝජනාව මේ වන විට අධ්‍යයනය කරනවා. ගාස්තු සමාලෝචනය සදහා අනුමත ක්‍රමවේදයක් තිබෙනවා.

    කුමන වියදම් ද අනුමත කළ හැකිද යන්න මාර්ගෝපදේශ ඒ් ක්‍රමවේදය තුල ඇතුළත්. ගාස්තු සාමාලෝචනයකදි අපේ අධ්‍යනයෙන් අනතුරුව ගාස්තු සංශෝධන යෝජනාව මහජන අදහස් සදහා ප්‍රසිද්ධ කරනවා. මේ මහජන උපදේශනයේදී සියලු පාර්ශ්වයන්ට සිය අදහස් හා යෝජනා ලිඛිතව හා වාචිකව ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබෙනවා.

    අවසානවරට විදුලි ගාස්තු සංශෝධයක් සිදුකළේ 2014 වසරේදී. එහිදී සියයට 25කින් විදුලි ගාස්තු අඩුකළා. පසුගිය වසර 8ක් පුරාම විදුලි ගාස්තු වැඩිකිරීමට ඉඩ නොදී පාලනය කරන්න අපට හැකි වුණේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ශක්තිමත් නියාමන අධිකාරියක් විදියට සිය කාර්යය ඉටුකළ නිසයි. රටේ අනෙකුත් ක්ෂේත්‍රවලට ද මේ අකාරයට නියාමනයක් හදුන්වාදිය යුතුයි.” 

    විදුලි ජනනයේදී දී ආනයනික ගල් අගුරු හා ඩීසල් ඇතුළු අනෙකුත් ඉන්ධන මත වැඩි වශයෙන් රඳා පැවතීම නිසා ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය මිලදී ගැනීම සඳහා කරන වියදම් ඉහළ ගොස් ඇතැයි, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා සදහන් කළේය. 

    මේ වන විට විදුලිබල මණ්ඩලයේ මාසික ආදායම රුපියල් බිලියන 22ක් පමණ. මෙයින් රුපියල් බිලියන 18ක් වැයවෙනවා. පුද්ගලික තාප බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට. ගල් අගුරු හා ඩීසල් මිල 130%කින් වැඩි වෙලා. රුපියල අවප්‍රමාණය වීමෙන් පසුව ලංකා විදුලි බල මණ්ඩලයේ වියදම් 45%කින් ඉහළ ගොස් ඇති බවට අපට දන්වා තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ ජනන වියදම් වලින් 90%ක් වැය වන්නේ ගල් අගුරු හා ඩීසල් ඇතුළු ආනයනික ඉන්ධන සදහා.

    ලංකා විදුලිබල මණ්ඩලයේ යෝජනාවට අනුව, මේ වන විට විදුලි ඒකකයක් සඳහා වැයවන පිරිවැය රුපියල් 53ක්. අඛණ්ඩ විදුලි සැපයුමක් සඳහා යම් ගාස්තු වැඩිවීමක් අවශ්‍ය බව අපි පිළිගන්නවා.

    සියළු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර සාධාරණ තීන්දුවක් ගන්නා බව කිව යුතුයි. ඉදිරිපත් කර ඇති ගාස්තු සංශෝධන යෝජනාව මහජන අදහස් විමසිම සඳහා ප්‍රසිද්ධියට පත්කරනවා. ගාස්තු පිළිබඳ තීරණයක් ගැනීමට පෙර මහජන අදහස් මෙන්ම සහනාධාර සදහා රජයේ ප්‍රතිපත්තිය ද සළකා බලනවා. කුමන පාරිභෝගික කොට්ඨාශවලට කුමන ප්‍රමාණයක සහනාධාර දිය යුතුද යන්න, රජය තීරණය කිරීමෙන් පසුව ඒ සහනාධාර ප්‍රමාණය ලංකා විදුලිබල මණ්ඩලයට ලැබෙන බවද තහවුරු කළ යුතුයි. 

    එසේම, ලංකා විදුලි බල මණ්ඩලයේ අකාර්යක්ෂමතාවය හේතුවෙන් සිදුවන අනාර්ථික වියදම් පාරිභෝගිකයා මත පටවන්න දෙන්නෙ නැහැ. එවැනි අකාර්යක්ෂමතා අඩුකිරීම සදහා කොන්දේසි ද පනවනවා. මේ කාරණා සියල්ල සළකා බැලීමෙන් අනතුරුවයි ගාස්තු වැඩිකිරීමක් අවශ්‍ය නම් පමණක් අනුමැති ය ලබාදෙන්නේ.

    නැවත වරක් අවධාරණය කල යුතුයි විදුලිගාස්තු වැඩිකිරීම විනිවිදභාවයකින් කරන නියාමන කටයුත්තක් බව. ඒ් නිසා විදුලි පාරිභෝගිකයා සහ මහජනතාව අනියත බියක් ඇතිකර යුතු නැහැ. මධ්‍යම රාත්‍රියේ ගාස්තු වැඩිකිරීමක් සිදු වෙවි කියළා.”

     

     

    Last modified on බදාදා, 27 අප්‍රේල් 2022 11:07

    Latest News