සියලු නිවාස ව්‍යාපෘති 2024 අවසන් කරන්න; අගමැති....

පෙබ 24, 2022

    2024 වනවිට නාගරික අඩු පහසුකම් ජනතාව වෙනුවෙන් නිවාස 50,000ක් ඉදි කෙරෙනවා.

    කොළඹ අඩු පහසුකම් නිවාස, මහල් නිවාස බවට පත්කිරීම මෙහි අරමුණයි. ඉන්, නිවාස 14,611ක් දැනටමත් ජනතා අයිතියට පත්කර අවසන් තවත් නිවාස 5590ක් ඉදි කෙරෙමින් පවතිනවා.

    අරලියගහ මන්දිරයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී මේ බව ප්‍රකාශ කෙරුණා. ඊ‍යේ පස්වරුවේ පැවති රැස්වීමේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා කියා සිටියේ, සියලු නිවාස ව්‍යාපෘති 2024 වනවිට අවසන් කළ යුතු බවයි. වැඩසටහන්වලට අදාළ පළමු කාර්තුවේ ප්‍රගතිය හා ඉදිරි කාර්තුවල අපේක්‍ෂිත ප්‍රගතිය මෙහිදී ඉදිරිපත් කෙරුණා. කාලිංග මාවත, ස්ටේඩියම්ගම හා කොළොන්නාවේ දැනට වැඩ අවසන් ව්‍යාපෘති හා කොළඹගේ මාවතේ වැඩ අවසන් වීමේ නිවාස ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වුණා.

    කුරුණෑගල අඩු ආදායම්ලාභී නිවාස ඒකක 300 ව්‍යාපෘතිය, චීන ආධාර යටතේ දෙමටගොඩ, පෑලියගොඩ, මොරටුව, මහරගම හා කොට්ටාව යන ප්‍රදේශවල නව නිවාස ව්‍යාපෘති ඉදි කෙරෙනු ඇති. ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ආධාර යටතේ කොළඹ ඇපල්වත්ත ප්‍රදේශයේ නිවාස 400ක්, කිඹුලාඇල ව්‍යාපෘතියේ නිවාස 472ක්, මහරගම ව්‍යාපෘතියේ නිවාස 600ක් ඉදි කිරීමට නියමිතයි. ජ්‍යෙෂ්ඨ කලාකරුවන් වෙනුවෙන් කොට්ටාව පළතුරුවත්ත ප්‍රදේශයේ නිවාස 108ක් ඉදිවනවා. කුලී පදනම යටතේ සිටින පදිංචිකරුවන් වෙනුවෙන් ද නිවාස ලබාදිය යුතු යැයි අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පෙන්වා දුන්නා. ජාතික සැලැස්මට අනුව, සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මකයි.

    Latest News