"කොළොම්තොට සරසවි උයන" ලබන 15 ජනතා අයිතියට

දෙසැ 13, 2021

    අඩු ආදයම්ලාභීන් වෙනුවෙන් ඉදිකෙරුණු නිවාස 528කින් යුත්, "කොළොම්තොට සරසවි උයන" නව නිවාස ව්‍යපෘතිය අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලබන 15 වැනිදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

    නිවාස සංකීර්ණයේ, එක් නිවසක වටිනාකම රුපියල් ලක්ෂ 70 ක්. "කොළොම්තොට සරසවි උයන" මහල් නිවාස සංකීර්ණය ස්ථාපනය කර ඇත්තේ, කොළඹ 5 පොල්හේන්ගොඩ, කාලිංග මාවතේ. මෙරට නිවාස අවශ්‍යතාවය වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි මෙවැනි නිවාස වැඩසටහන් රැසක් රටපුරා ක්‍රියාත්මකයි. ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය පදනම් කරගනිමින්, නිවාස සංකීර්ණය ඉදිකරනු ලැබ ඇත්තේ, නාගරික සංවර්ධන අධිකාරිය විසින්.

    මේ යටතේ ගොඩනැගිලි දෙකක නිවාස 192 බැගින් ඉදිකර තිබෙනවා. ඉන් එක් ගොඩනැගිල්ලක් මෙම නිවාස සංකීර්ණය වෙනුවෙන් ඉඩම් ලබාදුන් කාලිංග මාවතේ පදිංචිව සිටි පවුල් වෙත සහන ගෙවීමේ පදනම මත ලබාදීමටයි, පියවර ගෙන ඇත්තේ. ඒ සඳහා රුපියල් ලක්ෂ 10 ක් අය කෙරෙන අතර, සහන වාරික ලෙස වසර 10 ක් තුළ එම සහන මුදල ගෙවීමට හැකියි. මේ සඳහා කිසිදු පොලී මුදලක් අය නොකරන බව, නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

    ඉතිරි නිවාස 192 ක් සහිත කොඩනැගිල්ල කැලණිවැලි දුම්රිය මාර්ගය පුළුල් කිරීමේදී ඉවත් කෙරුණු අනවසර පදිංචිකරුවන්ට නොමිලයේ ලබාදී තිබෙනවා. සම්පූර්ණ නිවාස 528 න් නිවාස 144 ක් කොළඹ විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් 800 දෙනෙකු සඳහා නේවාසිකාගාරයක් ලෙස භාවිත කිරීමට කොළඹ විශ්වවිද්‍යාලයට ලබාදීමට නියමිතයි.

    රුපියල් මිලියන 1,900 ක වියදමින් ගොඩනගන ලද මෙම නිවාස 528 හි එක් නිවසක් නිදන කාමර 02 කින් සහ සියලු පහසුකම්වලින් සමන්විත වර්ග අඩි 450 කින් යුක්තයි. නිවාස හිමියන් සඳහා පොදු රථගාල් පහසුකම් ද මීට ඇතුළත්. කොළඹ මහ නගර සභාව සමග එක්ව අපද්‍රව්‍ය බැහැර කිරීමේ වැඩපිළිවෙලක් ද මෙහි ක්‍රියාත්මකයි.

    Last modified on සදුදා, 13 දෙසැම්බර් 2021 18:02

    Latest News