ජාතික රූපවාහිනියේ විනෝෂාගේ “Melody of the Mother Nature” අවසන් වටයට...

සැප් 19, 2021

     

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යාපන වැඩසටහන් අංශයේ සහය නිෂ්පාදිකා විනෝෂා කිරිවන්දෙනිය මහත්මියගේ රූපවාහිනී වැඩසටහන් යෝජනාවක් මෙවර (2021) ජපන් ත්‍යාග රූපවාහිනී අධ්‍යාපනික වැඩසටහන් තරඟයේ අවසන් වටයට තේරී පත් වී ඇත.

    “Melody of the Mother Nature” නම් මෙම රූපවාහිනී වැඩසටහන් යෝජනාවට පසුබිම් වී ඇත්තේ ග්‍රාමීය ප්‍රදේශයක පාසලක ගුරුවරයකු පරිසරයේ ඇති ඉවතලන ද්‍රව්‍ය වලින් සංගීත කණ්ඩායමක් නිර්මාණය කිරීමේ පුවතයි. ජපන් ත්‍යාග අධ්‍යාපන වැඩසටන් තරඟාවලියේ අවසන් වටයක් සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවෙන් කාන්තා නිෂ්පාදකවරියක් තේරි පත්වී ඇති පළමු අවස්ථාව මෙයයි.  

    ජපන් ත්‍යාග අධ්‍යාපනික වැඩසටහන් තරඟයේ දී ජාතික රූපවාහිනිය වෙනුවෙන් වැඩසටහන් යෝජනා අංශයෙන් ප්‍රථම වතාවට සම්මානයක් දිනාගනු ලැබුවේ නිෂ්පාදක අතුල දිසානයක විසිනි. 2013 වසරේ දී ඔහු විසින් ඉදිරිපත් කරන ලද “වන මං දිගේ අකුරට - Schooling along the Wild Track” නම් වූ වැඩසටහන් යෝජනාවට හොඳම වැඩසටහන් යෝජනාවට හිමි සම්මානය හිමි වූ අතර එම වැඩසටහන නිෂ්පාදනය කිරීම සඳහා ඩොලර් 8000 ක මුදල් ත්‍යාග වශයෙන් රූපවාහිනී සංස්ථාවට ලබා දෙන ලදි.

    මෙම තරඟයේ අවසන් වටය ජපානයේ NHK ආයතනයේ දී මේ වසරේ නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාව, බංග්ලාදේශය , ඉක්වදෝරය , කොලොම්බියාව , මෙක්සිකෝව සහ ඉරානය අවසන් වටය සඳහා තරගවැදීමට නියමිතයි. නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමක් තුළින් අවසන් වටය ජයගැනීමට නිෂ්පාදිකා විනෝෂා කිරිවන්දෙනිය මහත්මියට හැකි වේවා යයි අපි ප්‍රාර්ථනා කරමු.

    Latest News