එන්නත්කරණයෙන් පසු විශ්වවිද්‍යාල විවෘත කිරීමට පියවර

සැප් 18, 2021

    ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්යමණ්ඩල සාමාජිකයින් සඳහා කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබා දී විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කිරීමට සැලසුම් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේය.

    සභාපතිවරයා මෙම තොරතුරු සඳහන් කළේ විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කිරීම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත ඊයේ (17) ප්‍රකාශයක් කරමිනි.

    සෞඛ්‍ය අංශ හා ඒකාබද්ධව මේ සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය. සෑම විශ්වවිද්‍යාලයකම අධ්‍යයන හා අනධ්‍යයන අංශයන්හි වයස අවුරුදු 30ට වැඩි කාර්ය මණ්ඩල සඳහා එන්නත් දෙකමදී අවසන්ය.

    සියලුම විශ්ව විද්‍යාලයන්හි වයස අවුරුදු 30ට අඩු අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩල හා ශිෂ්‍යයින් එන්නත්කරණය සඳහා ඒ ඒ දිස්ත්‍රික්කවල ආසන්නතම සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන සමග සම්බන්ධීකරණයෙන් කඩිනම් පියවර ගන්නා මෙන් සියලු විශ්වවිද්‍යාල වෙත දැනුම් දී ඇති බව මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.

    එමෙන්ම, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා කාර්ය මණ්ඩලයේ වයස අවුරුදු 30ට වැඩි හා අඩු දෙපිරිසටම එන්නත් දෙකම දී අවසන් කර තිබේ.

    ඉදිරි වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයින් බඳවා ගැනීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතී. මේ සඳහා කාර්ය මණ්ඩලය සේවයට කැඳවීම අත්‍යවශ්‍ය බැවින් විශේෂ අවසරයක් මත මෙසේ කඩිනමින් එන්නත්කරණය සිදු කළ බව මහාචාර්යවරයා සඳහන් කළේය.

    විශ්වවිද්‍යාලවල වයස අවුරුදු 30ට අඩු කාර්ය මණ්ඩල සහ ශිෂ්‍යයින් සඳහා ක්‍රියාත්මක කරන එන්නත්කරණ වැඩපිළිවෙලේ ප්‍රගතිය සම්බන්ධ සුපරීක්ෂණ ක්‍රමවේදයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සෘජු අධීක්ෂණයෙන් ක්‍රියාත්මක කරයි.

    මහාචාර්යවරයා ප්‍රකාශ කළේ, එම ප්‍රගතියද සැලකිල්ලට ගෙන,සෞඛ්‍ය අංශ, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් හා සෙසු අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව විශ්වවිද්‍යාල විවෘත කිරීමට අපේක්ෂිත බවයි.

    විශ්වවිද්‍යාල දැනට වසා තිබුණද අදාළ සියලු අධ්‍යයන හා අනධ්‍යයන කාර්යයන් කිසිදු බාධාවකින් තොරව නව සන්නිවේදන තාක්ෂණික ක්‍රම ඔස්සේ ක්‍රියාත්මක වන බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අවධාරණය කළේය.

    Latest News