අග්‍රාමත්‍ය රනිල්: අතීතය නමැති තුවාලය පාරන වෛරයෙන් පලක් නැහෑ

පෙබ 15, 2019

    අතීතය නමැති තුවාලය පාරමින් එකිනෙකා කෙරෙහි වෛරයෙන් කටයුතු කිරීමෙන් කිසිදු පලක් නොවන බව අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අතීතය පිළිබඳ සත්‍ය ප්‍රකාශ කොට එකිනෙකාට කණගාටුව පළ කොට සමාව ලබාදී ශ්‍රී ලාංකිකයන් ලෙස එකමුතුව ඉදිරියට යාමේ අවකාශය උදාකර ගත යුතු බව පෙන්වා දුන්නේය.

    අද (15) කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සංවර්ධන සමාලෝචන රැස්වීම අමතමින් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේය. සත්‍ය හා සංහිදියා කොමිසම ස්ථාපිත කරලීම මගින් මේ අභිලාෂයන් මුදුන්පත් කරගත හැකි බව ඔහු තවදුරටත් ප්‍රකාශ කලේය.

    කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර ගණනාවක සංවර්ධන කාර්යයන් කඩිනම් හා විධිමත් කරලීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. පසුගිය ගංවතුරින් විපතට පත් පවුල් වෙත වන්දි පිරිනැමිණ.

    මේ අවස්ථාවට වජිර අබේවර්ධන, දොස්තර රාජිත සේනාරත්න, රවුෆ් හකීම්, පී. හැරිසන්, රිෂාඩ් බදියුදීන්, සාගල රත්නායක අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් සහ දෙමළ ජාතික සන්ධානයේ එම්. ඒ. සුමන්තිරන්, සිවඥානම් ශෂිධරන්, මාවෙයි සේනාධිරාජා, ධර්මලිංගම් සිද්ධාර්ථන් යන මන්ත්‍රීවරුන් ද එක්ව සිටියහ.

    Latest News