පාස්කු ප්‍රහාරය නඩු විභාගය සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

සැප් 01, 2021

    පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 25 දෙනෙකුට එරෙහිව ගොනු කරන නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ.

    ඒ අනුව අදාළ නඩුව විභාග කරන විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා පත්කර තිබේ.

    අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන විනිසුරුවරු මෙම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජිකයින් වශයෙන් කටයුතු කරයි.

    අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නීතිපති සංජය රාජරත්න මහතා විසින් කරන ලද ඉල්ලීමට අනුව අගවිනිසුරුවරයා විසින් මෙම ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල නම් කර තිබේ.

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23270ක් යටතේ නවුෆර් මව්ලවී ඇතුළු සැකකරුවන් 25 දෙනා වෙත එල්ල කර තිබේ.

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී මිනීමැරුම් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව දැනටමත් නීතිපතිවරයා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු පවරා තිබේ. 

     

    Last modified on බදාදා, 01 සැප්තැම්බර් 2021 11:36

    Latest News