රට හමුවේ කුමන අභියෝග, බාධක පැමිණියත් අතහැරිය නොහැකි ජාතික වගකීම් සහ යුතුකම් සමූදායක් තිබෙනවා; දළදා පෙරහර සමාප්ති උත්සවයේ දී ජනපති කියයි.

අගෝ 23, 2021

    රට හමුවේ කුමන අභියෝග, බාධක පැමිණියත් අතහැරිය නොහැකි ජාතික වගකීම් හා යුතුකම් සමුදායක් ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

    එහි පළමු තැන දළදා සමිඳුන් වෙනුවෙන් කැපවීමෙන් පවත්වන පුද පූජාවන්ට අයත් බව ඉතිහාසයේ සිට පාලකයන් විශ්වාස කර ඇති බව ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ.

    ඓතිහාසික දළදා පෙරහර මංගල්‍යය සාර්ථකව පවත්වා, සමාප්ත කළ බව සැලකිරීමට මහනුවර ජනාධිපති මන්දිරයේ දී අද (23) පස්වරුවේ පැවති උත්සවයේදී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

    දේශයේ විචිත්‍ර සංස්කෘතික මංගල්‍යය ලෙසින් පිළිගනු ලබන මහනුවර ඇසළ පෙරහර, පෞරාණික චාරිත්‍රානුකූලව සාර්ථකව පවත්වා, අවසන් කළ බව දැක්වෙන ඇසළ පෙරහර සංදේශය ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ, ප්‍රදීප් නිලංග දෑල මහතා ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    පෙරහරේ ගමන් කළ අලි ඇතුන් වෙනුවෙන්, බන්දා හස්තියාට පලතුරුවලින් සංග්‍රහ කිරීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

    අනතුරුව ජනාධිපතිතුමා දියවඩන නිලමේ ඇතුළු බස්නායක නිලමේවරුසහ පෙරහරට ඝෘජු දායකත්වය දුන් රාජ්‍ය නිලධාරීන් සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ.

    දියවඩන නිලමේ නිලංග දෑල මහතා සංදේශය ඉදිරිපත් කරමින් කොවිඩ් වසංගතය හමුවේ වුවද ඓතිහාසික දළදා පෙරහර මංගල්‍යය සාර්ථකව පැවැත්වීමට සහාය දුන් රජයටත්, සියලු පාර්ශ්වයන්ටත් සිය ස්තූතියි පිරිනැමීය.

    කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍යය නියමයන් ආරක්ෂා කර, මෙවර පෙරහර මංගල්‍ය පවත්වා අතීත වගකීම, අනාගත පරපුරට පෙන්වා දීමට හැකිවූ බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    දළදා සමිඳුන් වෙනුවෙන් කරන කැපවීම රටත්, ජාතියත් වෙනුවෙන් කරන කැපකිරීමක් ලෙස සලකන බව ජනාධිපතිතුමා පැවසීය.

    ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News