බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සිව්දෙනා පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

ජූලි 24, 2021

    හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා තිබූ බාල වයස්කාර දැරියක් පිලිස්සී මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඒ මහතාගේ බිරිඳ, ඇයගේ පියා, ඇයගේ සොහොයුරා සහ අදාළ දැරිය එම නිවසට ගෙනැවිත් භාරදුන් තැරැව්කරු යන අය පැය 48 ක කාලයක් පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබා දුන්නේය.

    පොලීසිය මගින් අත්අඩංගුවට ගත් රිෂාද් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ වන ශියාබ්දීන් අයේෂා, ඇයගේ පියා වන මොහොමඩ් ශියාබ්දීන්, ඇයගේ සහෝදරයා වන ෂියාබ්දීන් ඉස්මත් සහ අදාල දැරිය ගෙනෑවිත් භාරදූන් තැරැව්කරු වන පොන්නයියා පන්ඩාරම් යන අය අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරන්ජනී ද සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කෙරිණ.

    ඉන් අනතුරුව පොලිසිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරිය එම සැකකරුවන් ලබන 26 වැනිදා පෙරවරු 10.00 දක්වා පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නේය.

    ඒ අනූව සැකකාර රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ කිරුළපන පොලිසියේ ද සෙසු සැකකරුවන් තුන්දෙනා බොරැල්ල පොලිසියේ රඳවාගෙන විමර්ශන සිදු කිරීමට පොලීසියට අවසර හිමි විය.

    අනතුරුව මෙම පැමිණිල්ල ලබන සදුදා කැඳවීමට නියමිතයි.

    Last modified on සෙනසුරාදා, 24 ජූලි 2021 12:13

    Latest News