විත්තිකරුවන් දෙදෙනෙක් නොමැතිව බැඳුම්කර නඩුවක් විභාගයට අවසර

ජූලි 20, 2021

    2016 වසරේ මස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 36.98 ක වටිනාකමකින් යුත් බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ විත්තිකරුවන් වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අජාන් ගාර්දිය පුංචිහේවා යන අය නොමැතිව නඩු විභාගය පවත්වා ගෙන යාමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද අවසර ලබා දුන්නේය.

    මෙම නඩුව අද දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී ජේෂ්ඨ රජයේ නීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ බලයලත් නිලධාරීන් කේ. ටී. ඒ. කැලුම් ප්‍රියන්ත මහතා සඳහන් කළේ මෙම නඩුවේ විත්තිකරුවකු වන අර්ජුන් මහේන්ද්‍රන් නැමැත්තා 2017 වසරේ ඔක්තෝබර් මස 13 වැනිදා අවසන් වරට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා විදේශගත වී ඇති බවයි.

    සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ 469 දරණ ගුවන් යානයකින් ඔහු සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බවත් ඉන් පසුව මේ දක්වා ඔහු යළි ශ්‍රී ලංකාවට පැමිණ නොමැති බවට වාර්තා පිරික්සීමේදී අනාවරණය වන බවත් සාක්ෂිකරු පැවසීය.

    එමෙන්ම මෙම නඩුවේ තවත් විත්තිකරුවකු වන අජාන් ගාර්දිය පුංචිහේවා නමැත්තා 2018 වසරේ ජුනි මස 23 වනදා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් විදේශගත වී ඇතැයි සඳහන් කළ සාක්ෂිකරු ඔහු සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ 469 දරණ ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බවත් සඳහන් කළේය.

    එසේ පිටව ගිය අජාන් ගාර්දිය පුංචිහේවා නමැත්තා මේ දක්වා යළි ශ්‍රී ලංකාවට පැමිණ නොමැති බව වාර්තා පිරික්සීමේදී අනාවරණය වන බව ද සාක්ෂිකරු අධිකරණය හමුවේ සඳහන් කළේය.

    ඉන් අනතුරුව සාක්ෂි දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයෙන් ප්‍රියන්ත සමන් නානායක්කාර මහතා කියා සිටියේ මෙම නඩුවට අදාළ සිතාසිය භාරදීම සඳහා තමා අර්ජුන් මහේන්ද්‍රන් නැමැති විත්තිකරුට අයත් කොළඹ 7, මල් පාරේ පිහිටි නිවසට ගිය බවයි.

    එම නිවසේ සිටි නටාෂා කාංචනා අන්ජලී මහේන්ද්‍රන් නැමැත්තිය විසින් අර්ජූන් මහේන්ද්‍රන් තම පියා බවත් ඔහු 2017 වසරේ සිංගප්පූරුව බලා පිටත්ව ගොස් එහි ජීවත්වන බව ප්‍රකාශ කළ බවත් සාක්ෂිකරු පැවසීය.

    මේ හේතුවෙන් විත්තිකාර අර්ජුන මහේන්ද්‍රන් වෙනුවෙන් අධිකරණය මගින් නිකුත් කළ සිතාසිය භාර දීමට තමාට නොහැකි බව වූ බවද සාක්ෂිකරු සඳහන් කළේය.

    එමෙන්ම මෙම නඩුවේ තවත් විත්තිකරුවකු වන අජාන් ගාර්දිය පුංචිහේවා නමැත්තාගේ සිතාසිය භාරදීම සඳහා ඔහු පදිංචිව සිටි කොළඹ 7, නිදහස් මාවතේ පිහිටි නිවසට ගිය අතර එහි සිටි ඔහුගේ මෑණියන් වන අනෝමා පුංචිහේවා සඳහන් කළේ තම පුත්‍රයා 2018 වසරේ මැලේසියාවට ගොස් එහි පදිංචිව සිටින බව සඳහන් කළ බවද සාක්ෂිකරු කියාසිටියේය.

    ඒ අනුව ඔහුගේ සිතාසිය ද බාර දීමට නොහැකි වූ බව සාක්ෂිකරු පැවසීය.

    ඉදිරිපත් වූ සාක්ෂි විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 450(8) වගන්තිය යටතේ අර්ජුන් මහේන්ද්‍රන් සහ අජාන් ගාර්දිය පුන්චිහේවා යන විත්තිකරුවන් නොමැතිව එම නඩුව පවත්වාගෙන යාම සඳහා පැමිණිල්ලට අවසර ලබාදෙන බවයි.

    ඉන් අනතුරුව වැඩිදුර විභාගය අගෝස්තු මස 26 වන දා තෙක් කල් තැබිණ.

    එම නඩුව අද කැඳවු ලැබූ අවස්ථාවේදී එහි විත්තිකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් 11 දෙනා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

    මේ අතර 2016 වසරේ මාර්තු මස 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 15 ක වටිනාකමකින් යුත් බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් 10 දෙනකුට එරෙහිව ගොනුකර තිබෙන තවත් නඩුවක් අගෝස්තු මස 19 වනදා යළි කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියම කළේය.

    මෙම නඩුව අද අමල් රණරාජා, නාමල් බළල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවීමෙන් අනතුරුයි මෙම නියෝගය කෙරිණ.

    Latest News