ශ්‍රී ලංකා රූපවාහිනී/ගුවන් විදුලි අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ

ජූලි 07, 2021

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව අතර ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩපිළිවෙළට අදාළ අවබෝධතා ගිවිසුමට අද (07) අත්සන් තැබිණ.

    ඒ, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේදී. අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන මහත්වරු අත්සන් කිරීමට එක්වූහ.

    මේ අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, ජගත් පී විජේවීර, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා ඇතුළු පිරිසක් එක්වූහ. අදාළ ගිවිසුම යටතේ ක්‍රියාත්මක පළමු වැඩසටහන වන්නේ “නොමියෙන මිනිසුන්“ නමැති වැඩසටහන් මාලාවේ එක් අංගයක්. එය ප්‍රවීණ ගායක එච්.ආර්.ජෝතිපාල මහතා අළලා සකස් කරන ලද්දක්.

    එච්.ආර්. ජෝතිපාල මහතා ගුවන් විදුලි සරල සංගීතයෙන් හා චිත්‍රපට පසුබිම් ගායනයෙන් මෙන්ම ප්‍රසංග වේදිකාවෙන් ජනාදරයට පත් වූ අමරණීය ගායකයෙක්. ඔහුගේ ජනප්‍රියත්වය අදටත් සෑම වයස් කාණ්ඩයක් අතර ජනාදයට ලක්ව තිබේ.

    එච්.ආර්. ජෝතිපාල මහතාගේ 34 වැනි ගුණ සමරුව අදට යෙදී තිබේ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඒ වෙනුවෙන් සැමරුම් වැඩසටහනක් සංවිධාන කළේය. ඒ, සංස්ථා සභාපති හඩ්සන් සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. 6 වැනි මැදිරියේ පැවති එය “පොදුජන ගායක එච්.ආර්. ජෝතිපාල පිළිබඳ ශාස්ත්‍රීය කියවීමක්“ යනුවෙන් නම්කර තිබිණ.

    Latest News