මාර්ගගත පහසුකම් නොමැති දරුවන්ට අධ්‍යයන සම්පත් මධ්‍යස්ථාන 2,096ක්; අමාත්‍ය ජී.එල්.පීරිස්

ජූලි 05, 2021

    කොවිඩ් වසංගත තත්ත්වය නිසා දුරස්ථ-මාර්ගගත ක්‍රම හරහා පාසල් දූ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ දී මතු වී තිබෙන ප්‍රායෝගික ගැටලු සඳහා පිළියමක් වශයෙන් රටපුරා සම්පත් මධ්‍යස්ථාන 2,096ක් අද දින සිට විවෘත කෙරෙන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ අද (05) දින මතුගම දොඩම්පාපිටිය ප්‍රාථමික විද්‍යාලයේ සහ මතුගම ඕමත්ත ජනපද කනිෂ්ඨ විද්‍යාලයේ අද සිට ආරම්භ කෙරෙන සම්පත් මධ්‍යස්ථාන විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    පවතින සෞඛ්‍ය තත්ත්වය මත දූ දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දූරස්ථ-මාර්ගගත ක්‍රමය උපයෝගී කරගෙන තිබෙන නමුත් බොහෝ දුෂ්කර ප්‍රදේශවලට දුරකථන සංඥා, දුරකථන පහසුකම් නොමැතිවීම නිසා එම දූ දරුවන් මුහුණදෙන ගැටලුවට විසඳුමක් ලෙස ශ්‍රි ලංකා මොබිටෙල් ආයනය සහ අධ්‍යාපන අමාත්‍යංශය එක්ව ‘සම්පත් මධ්‍යස්ථාන’ 2,096ක් රට පුරා අද දින සිට විවෘත කෙරේ.

    මෙම මධ්‍යස්ථාන හඳුනාගනු ලැබුවේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, සාමාජිකයින්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු සහ විදුහල්වතිවරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුවය.

    මේ සෑම මධ්‍යස්ථානයකම පරිගණක, ටැබ් යන්ත්‍ර, ලැප්ටොප් පරිගණක, අන්තර්ජාල පහසුකම් ඇතුළු දුරස්ථ-මාර්ගගත අධ්‍යාපනයට අදාළ සියලු ම පහසුකම්වලින් සමන්විතය.

    විශේෂයෙන් ම දුෂ්කර ගම්මානවල ආර්ථික වශයෙන් දුෂ්කරතා පවතින, දුරකථන සංඥා සහ දුරකථන පහසුකම් පිළිබඳ ගැටලු පවතින දරුවන්ට ද අධ්‍යාපනයේ සම අවස්ථා ලබාදීම සිදු විය යුතු ය. වගකිවයුතු රජයක් ලෙස එය අපේ ප්‍රමුඛ වගකීමක් ලෙස සැලකිය යුතු වේ.

    මේ දුෂ්කර තත්ත්වය හමුවේ වුව ද අධ්‍යයන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා හැකි ඉක්මනින් පාසල් ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය අංශවල නිර්දේශ මත 240,000ක් පමණ වූ දිවයිනේ සියලු ම ගුරුවරුන් සඳහා එන්නත්කරණය සිදු කිරීම සතියක් වැනි කාලයක් තුළ අවසන් කිරීමට ජනපතිතුමාගෙන් පසුගිය දා උපදෙස් ලැබුණි.

    මේ වනවිටත් සැලකිය යුතු ගුරුවරුන් ප්‍රමාණයකට එන්නත් ලබා දී අවසන් ය. එය ගුරුවරුන්ට කෙරෙන ගෞරවයක් ලෙස ද සැලකිය හැකි ය. තම දරුවන් පාසල්වලට එවීමට එයින් දෙමාපියන්ට විශ්වාසයක් ගොඩනැ‍ඟෙනු ඇත. ඒ අනුව පියවරෙන් පියවර පාසල් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන අතර එහි පළමු පියවර වශයෙන් ළමුන් 100ට අඩු දිවයිනේ පාසල් 2,996ක් පමණ සෞඛ්‍ය නිර්දේශ ලැබීමෙන් පසු ව විවෘත කිරීමට අපේක්ෂා කෙරේ.

    ඒ අනුව අවසන් වශයෙන් සෞඛ්‍ය අංශවල නිසි නිර්දේශයන්ට අනුව පාසල් විවෘත කිරීමට හැකිවනු ඇත. එබැවින් මෙම මධ්‍යස්ථානවලින් උපරිම ප්‍රයෝජන ලබාගෙන තම දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට දරුවන් යොමුකරවන ලෙස ද අමාත්‍යවරයා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ ය.

    මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා ඇතුළු පිරිසක් ද එක් වූහ.

    Latest News