එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා බැඳුම්කරයක් මත මුදාහැරීමට නියෝග

ජූනි 14, 2021

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ එහි කපිතාන්වරයා රුපියල් මිලියන දෙකක පෞද්ගලික බැඳුම්කරයක් මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියම කළේය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් නෞකාවේ කපිතාන්, රුසියානු ජාතික ටියුට්කාලෝ විටැලි නමැත්තා මහාධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණ.

    දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු පරීක්ෂාකළ කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අදාළ සැකකාර කපිතාන්වරයා රුපියල් මිලියන දෙකක පුද්ගලික බැඳුම්කරයක් මත මුදාහැරීමට නියෝග කළ අතර ඔහුගේ විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේය.

    එම නියෝගය දිවයිනේ සියලුම ගුවන්තොටුපළවල් හා වරායවල් මෙන්ම ආගමන විගමන පාලකවරයා වෙත ද දැනුම් දිය යුතු යැයි නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවට දැන්වීය.

    යම් හෙයකින් පදිංචිය වෙනස් කරන්නේ නම් ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසද මෙහිදී විනිසුරුවරයා විසින් සැකකරුට අවවාද කළේය.

    මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ නෞකාවේ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් තිබෙන බව දනිමින් එය වසන් කොට අදාළ නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය මෙරට ජල තීරය තුළට පිවිස ඇතැයි චෝදනා කළේය.

    අදාළ නෞකාවේ ඇතිවූ ගින්න නිසා මෙරටට ගණනය කළ නොහැකි පාරිසරික මෙන්ම ආර්ථික පාඩුවක් සිදු වී ඇති බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම ගින්න හේතුවෙන් සිදු වූ පාරිසරික හානිය පිළිබඳව අධ්‍යනය කිරීම සඳහා සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය විසින් විශේෂඥයින්ගෙන් යුත් කමිටුවක් පත්කළ බවද පැවසීය.

    එම විශේෂඥයින් නිකුත් කළ අතුරු වාර්තාවකට අනුව අදාළ ගින්න හේතුවෙන් ඇතිවූ පාරිසරික හානිය නිසා සමුද්‍ර ජීවීන්ට දිගු කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන බලපෑම් ඇතිවිය හැකි බව කරුණු දක්වා ඇතැයි පැවසීය.

    මෙම නෞකාව ගිනි ගැනීම හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශය හරහා වෙනත් නෞකාවකට පිවිසීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා මෙරටට බොරතෙල් රැගෙන එන නෞකාවන්ට මුහුදේ සිට ගොඩබිමට එම තෙල් පොම්ප කිරීමට තිබෙන අවකාශය ඇහිරී ගොස් ඇතැයි ද පෙන්වා දුන්නේය.

    සියලු කරුණු පිරික්සීමේදී මෙම කපිතාන්වරයා සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනතේ 26 වන වගන්තිය යටතේ වරදක් සිදුකර ඇති හෙයින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවද ඔහු සඳහන් කළේය.

    එම චෝදනා ප්‍රතික්ෂේප කළ සැකකාර කපිතාන්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අදාළ නෞකාව තුළ ගින්නත් පවතින බව තම සේවා දායකයා විසින් හබර් මාස්ටර්වරයා දැනුවත් කළ බවත් ඉකුත් මැයි මස 20 වන සවස 4.30 ට පමණ හාබර් මාස්ටර්වරයාගේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ නෞකාවට ගොඩ වී පැය එකහමාරක් පමණ එහි රැඳී සිට ඇති අතර එම අවස්ථාවේ ඔවුන් ගින්න නිරීක්ෂණය කොට ඇති බවත් පැවසීය.

    එහෙත් එම නිලධාරීන් ගින්න නිවීමට අවශ්‍ය පියවර කිසිවක් නොගත් බවට චෝදනා කළ ජනාධිපති නීතිඥවරයා එම නිලධාරීන් ගින්න වැවීමට ඉඩ හැරියේ අදාල නෞකාවෙන් වන්දියක් ලබා ගැනීමේ චේතනාවෙන් යයිද චෝදනා කර සිටියේය.

    සියලු කරුණු සලකා බැලූ විනිසුරුවරයා සැකකාර කපිතාන්වරයා රුපියල් මිලියන දෙකක බැඳුම්කරයක් මත මුදා හළ අතර පැමිණිල්ල නැවත ජූලි මස 01 කැඳවීමට ද නියම කළේය.

    Latest News