අල්ලස් චෝදනා එල්ල වී සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරයා නිදහස්

අප්‍රේ 27, 2021

    පසුගිය යහපාලන රජය සමයේ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු හතරක් එම කොමිසම විසින් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව ඒ මහතා නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

    අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම විත්තිකරුට එරෙහිව ගොනුකළ තිබූ චෝදනා පත්‍ර හතර ඉවත් කර ගන්නා බවයි.

    ඒ අනූව, අදාළ චෝදනා ඉවත්කර ගැනීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරයා විත්තිකරු නිදහස් කිරීමට ද නියෝග කළේය.

    2010 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රවර්ධන කටයුතුවල දී පුද්ගලික සමාගමක් සමඟ ඇති කර ගත් එකඟතාවය රුපියල් මිලියන 64ක මුදලක් රජයට පාඩු කළේ යැයි, චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් චන්ද්‍රවංශ පතිරාජ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබිණ. 

    Latest News