අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමි දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි .....

මාර් 24, 2021

    අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන්ගේ ආදාහන පූජොත්සවය පැවැත්වෙන හෙට දිනය ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට රජය තීරණය කර තිබේ.

    ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කය තුළ මස් පිණිස සතුන් ඝාතනය කෙරෙන ස්ථාන, මාංශ අලෙවි සැල්, සුරා සැල් සහ මත්පැන් අලෙවි මධ්‍යස්ථාන ද, වසා තැබේ. මහ නාහිමියන් ජාතික, ආගමික හා ශාසනික වශයෙන් මෙරටට සිදු කළ උදාර සේවය සැලකිල්ලට ගනිමින් ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩලයේ ද අනුමැතිය හිමිවිය.

    අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නා හිමිපාණන්ගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවසන් ගෞරව පුද කරයි.

    ශ්‍රී දේහය තැන්පත් කර ඇති ගල්කිස්ස, ශ්‍රී ධර්මපාලාරාමයට අද (24) පෙරවරුවේ ගිය ජනාධිපතිතුමා නා හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දක්වා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සහ දායක සභාව වෙත සිය සාතිශය සංවේගය පළ කළේය. ජනාධිපතිතුමා විහාරස්ථානයේ තබා ඇති ශෝක සටහන් පොතේ සටහනක් තබමින් අත්සන් තැබීය.

    ජනාධිපතිතුමා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ, අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන් සමස්ත බෞද්ධ ලෝකයේම ප්‍රකට යටිවරයාණන් වහන්සේ නමක බවයි. උන්වහන්සේ පුපටිපන්න භික්‍ෂුන් වහන්සේගේ කාර්ය භාරය ඉතා මැනවින් ග්‍රහණය කරගෙන සිටියේය. සමාජයීය හා දේශපාලන වශයෙන් වූ ජාතික වගකීම උන්වහන්සේ කිසි විටෙකත් පැහැර හැරියේ නැත.

    උත්තරීතර මහනායක පදවියට ආලෝකයක් වූ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන් පළ කළ ප්‍රඥා මහිමය සේම කරුණාභරිත බව ද ලොවටම වටිනා ආදර්ශයක්. උන්වහන්සේගේ අපවත්වීම පෞද්ගලිකව තමාටත්, පොදුවේ සමස්ත බෞද්ධ ලෝකයටත් දැරිය නොහැකි පාඩුවක් බව ජනාධිපතිතුමා සිය ශෝක පණිවුඩයේ සඳහන් කරයි.

    රටට අහිමි වූයේ වියත් ධර්මධර ශික්‍ෂාකාමී මහා පඬිරුවනක් වන බැවින්, අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන්ගේ අපවත්වීමෙන් සිදුවූ පාඩුව කලකට පිරිමැසිය නොහැකි බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. වර්තමාන භික්‍ෂුවකගේ කාර්ය භාරය මැනවින් ඉටු කළ මහ නාහිමියන් මුළු මහත් සඟ පරපුරටම ආදර්ශ සම්පන්න සූපේෂල, ශික්‍ෂාකාමී, ගුණගරුක මහා යථිවරයාණන් වහන්සේ නමක්.

    අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක පදවිය ලැබීමට පුණ්‍යවන්ත වූ උන්වහන්සේ තමාට ලැබුණු තනතුරුවලින් කිසි දිනෙක උඩඟු වූයේ නැහැ. වසර 88ක් ආයු වළඳා වැඩදායි උදාර මෙහෙවරක් කළ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන්ට උතුම් වූ නිවන් සුව අත්වේවායි අග්‍රාමාත්‍යවරයා ප්‍රාර්ථනා කර සිටී.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් මහනාහිමියන්ගේ දේහයට ඊයේ සවස අවසන් ගෞරව දැක්වූහ. අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහා සංඝරත්නය, මැති-ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් අද දිනයේ ද පැමිණ සිටියහ.

    අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය, ජාතික රූපවාහිනිය ඔස්සේ හෙට පස්වරු 3.00 සිට සජීව ලෙස විකාශය කෙරේ.

    Last modified on බදාදා, 24 මාර්තු 2021 18:48

    Latest News