අමාත්‍ය මණ්ඩල තීරණ; "ෆුල්ෆේස් හෙල්මට්" යළි භාවිතයට (වීඩියෝ)

මාර් 09, 2021
  • "ෆුල්ෆේස් හෙල්මට්" යළි භාවිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    ඒ, "ෆුල්ෆේස් හෙල්මට්" භාවිතා නොකිරීම තුළින් අනතුරක් බරපතල වීම සඳහා බලපාන බවට සෞඛ්‍ය අංශ කළ නිර්දේශ සැලකිල්ලට ගනිමින්. කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ ගැන පැහැදිළි කළේය.

    කහතුඩුව සිට රත්නපුර හරහා පැල්මඩුල්ල දක්වා දිවෙන රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. පළමු අදියර ලෙස කහතුඩුව සිට ඉංගිරිය දක්වා කිලෝමීටර 24.3ක දුරක් ඉදිකිරීමට නියමිතයි. ඊට වැය කෙරෙන මුදල රුපියල් කෝටි 4700ක්.

    මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ කළමනාකරණ සහ නියාමන ජාතික කමිටුවක් පත් කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය. පෙර පාසල්, මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිළිබඳව ජාතික මට්ටමෙන් නියාමනය, අධීක්‍ෂණය සහ මඟ පෙන්වීම කමිටුවට පැවරෙන වගකීමයි.

    අන්තර් පළාත් මගී බස් රථ ධාවකයින්ගෙන් අය කරනු ලබන ගාස්තු ලබන 31 වැනිදා දක්වා නිදහස් කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව යාවත්කාලීන කිරීමේ ගාස්තු, ප්‍රමාද ගාස්තු, ටෙන්ඩර් ගාස්තු, ලොග්පත්‍ර ගාස්තු, පිවිසුම් ගාස්තු සහ අධිවේගී මාර්ගයේ තාවකාලික අවසරපත්‍ර ගාස්තු නිදහස් කෙරෙනු ඇත. කොවිඩ්-19 වසංගත තත්වය හමුවේ අන්තර් පළාත් මගී බස් රථ ධාවනය අඛණ්ඩව පවත්වා ගැනීම මේ තීරණය ගැනීමේ අරමුණයි.

    දේශීය නිෂ්පාදන විදෙස් වෙළෙඳ පොළ වෙත යොමු කිරීම සඳහා නව සමාගමක් ස්ථාපනයට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. එය ලංකා සළුසල සමාගමට 100% කොටස් සහිත සමාගමක් ලෙස ස්ථාපනයට අපේක්‍ෂිතයි.

    එම සමාගම විසින් පත් කරනු ලබන විදේශීය නියෝජිතයන් හා ප්‍රදර්ශනාගාර මගින් දේශීය බතික් නිෂ්පාදන, අත් යන්ත්‍ර පේෂකර්ම නිෂ්පාදන ඇතුළු ඇඟලුම් නිෂ්පාදන රැසක් ප්‍රවර්ධනය කිරීමට නියමිතයි.

    Last modified on බදාදා, 10 මාර්තු 2021 09:03

    Latest News