ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් ඉල්ලා පෙත්සමක්

පෙබ 15, 2021

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාව සකස් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් සම්බන්ධයෙන් මාර්තු මස පහළොස් වැනිදා කරුණු දක්වන්න ලෙස නොතීසි නිකුත් කරයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීලග නිලවරණය පැවැත්වීමට පෙර වත්මන් ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සකස් කරන ලෙස ක්‍රීඩා බලධාරීීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් මාර්තු 15 වනදා කරුණු දක්වන ලෙස එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත් කළා.

    හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන මුත්තයියා මුරලිදරන්, සිදත් වෙත්තමුනි, මයිකල් තිසේරා, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්ෂුක්, ජනාධිපති නීතිඥ ඩිනාල් පිලිප්ස්, ආචාර්ය පාලිත කොහොන, රියන්සි විජේතිලක ඇතුළු දොළොස් දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

    මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බැලුනා.

    අනතුරුව පෙත්සම සම්බන්ධයෙන් මාර්තු මස 15 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා, උප සභාපතිවරුන් වන ජයන්ත ධර්මදාස, එහි ලේකම් මොහාන් සිල්වා ඇතුළු 19 දෙනෙකු වෙත අධිකරණය විසින් නොතීසි නිකුත් කළා.

    පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් ව්‍යවස්ථාව තුළ පවතින විවිධ නීතිමය අඩුපාඩු නිසා විවිධ පාර්ශව වලින් සිදුවන බලපෑම් මෙන්ම දේශපාලන බලපෑම් එල්ල වීමට වැඩි ඉඩකඩක් පවතින බවයි.

    මෙම තත්ත්වය ක්‍රිකට් ක්‍රීඩාව පරිහානියට හේතු වී තිබෙන බවද පෙත්සම්කරුවන් පෙන්වා දෙනවා.

    මේ හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාව යහපත් මට්ටමින් පවත්වාගෙන යාම සඳහා ස්වාධීන හා විනිවිදභාවයකින් යුත් පාලන ව්‍යුහයක් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බවද ඔවුන් පෙන්වා දෙනවා

    මේ හේතුවෙන් මීළඟ ක්‍රිකට් නිලවරණයට පෙර වත්මන් ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කිරීම අත්‍යවශ්‍ය කාරණයක් යැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් ක්‍රීඩා පනත යටතේ ඊට අදාළ බලතල ක්‍රීඩා අමාත්‍යවරයා සතු වන බවයි පවසන්නේ.

    මේ හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊළඟ නිලවරණයට පෙර දැනට පවතින ව්‍යවස්ථාව සංශෝධනය කර නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

    Latest News