අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස සහ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමිවරුනට ජනපතිගෙන් ජන්ම දින සුබ පැතුම් (වීඩියෝ)

ජන 26, 2021
  • ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනායක හිමිපාණන් වහන්සේට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජන්ම දින සුබ පැතුම් පුදකරයි.

    අදට (26) යෙදී ඇති උන්වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයට අද පෙරවරුවේ ගිය ජනාධිපතිතුමා නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කළේය.

    මහ නා හිමියනට ආශිර්වාද පිණිස මහා සංඝරත්නය පනස් නමක් විෂයෙහි පැවති දානමය පුණ්‍ය කර්මයට ද සහභාගී වූ ජනාධිපතිතුමා මහ නායක හිමිවරුන්ට දානය පිළිගැන්වීය.

    අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනායක හිමිපාණන් වහන්සේගේ 88 වන ජන්ම දිනය නිමිත්තෙන් නිකුත් කෙරුණු සමරු මුද්දරය ද ජනාධිපතිතුමා විසින් උන්වහන්සේ වෙත පිළිගැන්විණ.

    ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වැඩබලන මහානායක අතිපූජ්‍ය ගංතුනේ අස්සජී, කෝට්ටේ ශ්‍රී කල්‍යාණ සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල, අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත නිකායේ මහ නායක, බම්බලපිටිය වජිරාරාමාධිපති අතිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මේ අවස්ථාවට වැඩම කර සිටියහ.

    නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය ද අදට යෙදී තිබේ.

    Muruth px 900 26 01 21

    අද (26) දහවල් එම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමින් වහන්සේගේ සුව දුක් විමසමින් උන්වහන්සේට නිදුක් නිරෝගී චිර ජිවනය ප්‍රාර්ථනා කළේය. උන්වහන්සේගේ ජනම දිනය නිමිත්තෙන් විහාරස්ථානයේ සංවිධාන කර තිබෙන ලේ දන්දීමේ වැඩසටහන සහ ප්‍රදේශවාසින්ට පරිත්‍යාග කිරීම සඳහා රැස් කර තිබූ භාණ්ඩ තොගය ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

    Last modified on අඟහරුවාදා, 26 ජනවාරි 2021 22:58

    Latest News