ටී බී ඒකනායක මහතාගේ අවසන් කටයුතු හෙට

දෙසැ 07, 2020

    අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ටී බී ඒකනායක මහතාගේ දේහය මහව පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.

    දේශපාලනඥයන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙමින් සිටිනවා.

    යාපහුව සිංහයා නමින් හැදින්වුනු ටී බී ඒකනායක මහතා කලක් රෝගාතුරව සිටි අතර ඒ මහතා මියගියේ ඊයේ දිනයේයි.

    ඒ වනවිට ඒ මහතා 66 වන වියේ පසු වුණා.

    ටී.බී. ඒකනායක මහතාගේ දේහය ඊයේ රාත්‍රියේ මහව පිහිටි නිවස වෙත රැගෙන එනු ලැබුවා.

    1977 වසරේ පැවති මහ මැතිවරණයේදී ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් ඒ මහතා දේශපාලනයට පිවිසෙනවා.

    1992 වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් වයඹ පළාත් සභාවට තේරි පත්වන ටී බී ඒකනායක මහතා පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 1994 වසරේදීයී.

    සංස්කෘතික සහ කලා කටයුතු පිළිබද අමාත්‍ය ඇතුළු නියෝජ්‍ය ඇමති මෙන්ම කැබිනට් නොවන අමාත්‍යධූර රැසක් දරමින් ඒ මහතා සිය සමාජ වගකීම ඉටු කළා.

    ටී බී ඒකනායක මහතා සිය කලා හැකියාවන් ප්‍රදර්ශනය කරමින් ටෙලිනාට්‍ය රංගනයට, නිෂ්පාදනයට මෙන්ම අංග රචනයට ද දායකත්වය ලබා දුන්නා.

    සම්මානනීය ටෙලි නාට්‍ය වන යුගවිලක්කුව, කටු ඉඹුල, කරුවල ගෙදර, මහතලාහටන සහ ගිරිකුල ඇතුළු ටෙලි නාට්‍යය රැසකට ද ඒ මහතා රංගනයෙන් දායක වුණා.

    ගැමි බස් වහර පිළිබද පර්යේෂණ කළ ටී බී ඒකනායක මහතා තීරු ලිපි ඇතුලු මෙන්ම ග්‍රන්ථ කිහිපයක් ද රචනා කරමින් සිය ලේඛන හැකියාව ද ප්‍රකට කළා.

    අභාවප්‍රාප්ත ටී බී ඒකනායක මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු මහව ටී බී ඒකනායක ක්‍රීඩාංගනයේදී හෙට පස්වරු තුනට සිදු කිරීමට නියමිතයි.

    Latest News