සජිත්ගෙන් "සිරිසරණගම" ජනතාවට

ජන 20, 2019
    "යළි පිබිදුනු ගම් උදාව" වැඩසටහන යටතේ දිවයිනේ 152 වන උදා ගම්මානය වන "සිරිසරණගම" හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයේ දී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්විය.  
    නව නිවාස 23 කින් "සිරිසරණගම" උදා ගම්මානය සමන්විතයි. ඉඩමක් හා නිවසක් නොමැති පවුල් 23 කට මෙම ගම්මානයෙන් නොමිලේ ඉඩම් ලබා දී මෙහි නිවාස ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා ඉතා සුළු පොළී ණය මුදල්ද පිරිනමා තිබේ.  මෙම උදා ගම්මානයේ කටයුතු අංග සම්පූර්ණව නිම කිරීම සඳහා රුපියල් ලක්ෂ 212 ක පමණ මුදලක් වැය කෙරිණ. පිරිසිදු පානීය නළ ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග පද්ධතියක් ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් "සිරිසරණගම" උදා ගම්මානය සමන්විතයි.  
     
    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා.... 
     
    අපේ ඉලක්කය වන්නේ 2019 වසරේ සැප්තැම්බර් මස අවසන් වන විට රට තුළ උදා ගම්මාන 2,500 ක් ඉදිකිරීමයි. මේ වන විට දිවයින පුරා උදා ගම්මාන 1,684 ක පමණ ප්‍රමාණයක ඉදිකිරීම් අප ආරම්භ කර තිබෙනවා. ගම්මාන 2,500 ඉලක්කය වෙත යන්නට තවත් ගම්මාන 816 ක් අප ඉදි කළ යුතුයි. මෙම ඉලක්කය ජය ගැනීම අභියෝගාත්මකයි. නමුත් කෙසේ හෝ එම ඉලක්කය ජය ගන්නා බව මා ප්‍රකාශ කරනවා. අපගේ අවසන් ඉලක්කය වන්නේ 2025 දී රටේ උදා ගම්මාන 20,000 ක් ඉදි කිරීමයි. ඒ අනුව පළමු අදියරේදී උදා ගම්මාන 2,500 ක්, දෙවන අදියරේදී උදා ගම්මාන 5,000 ක්, තුන්වන අදියරේදී උදා ගම්මාන 10,000 ක් සහ සිව්වන අදියරේදී නැවත උදා ගම්මාන 2,500 ක් වශයෙන් අප ආරම්භ කිරීමට බලාපොරොත්තු වනවා. ඒ අනුව වසර 2025 වන විට මෙරට උදා ගම්මාන 20,000 ක් ඉදි කර සැමට සෙවණ ලබා දෙන බව බව මා සතුටින් ප්‍රකාශ කරනවා. 
    අද දින මෙම ගම්මානයේ පවුල් 23 ට නිවාස අයිතිය මෙන්ම රුපියල් ලක්ෂ 69 ක් වටිනා බිම් කොටස් 23 ක අයිතිය හිමි වනවා. ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 500 කට රුපියල් ලක්ෂ 500 ක් වටිනා 'විසිරි නිවාස ණය' ලබා දෙනවා. පවුල් 50 කට රුපියල් ලක්ෂ 100 ක් වටිනා 'සොඳුරු පියස නිවාස ණය' ලබා දෙනවා. ප්‍රදේශයේ සිටින දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 200 දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩි ලබා දෙනවා. ප්‍රාදේශීය කලාකරුවන් 8 දෙදෙනෙකුට රුපියල් 80,000 ක් වටිනා වෛද්‍ය ආධාර ලබා දෙනවා. "සිරිසරණගම" උදා ගම්මානය ජනතා අයිතියට පත් වීමත් සමඟ මෙම ප්‍රදේශයේ ජනතාවට ප්‍රතිලාභ රැසක් ලබා දීමට අප කටයුතු කරනවා.  
    යහපාලන රජය බලයට පත්ව වසර හතරක කාලයක් වනවා. ඒ කාල වකවානුවේදී නිවාස, ඉදිකිරීම් හා සංස්කෘති කටයුතු අමාත්‍යාංශය නිවාස ගැටළුවලින් පෙළෙන පවුල් 332,000 කට ආධාර උපකාර කර තිබෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 26,000 ක මුදලක් වැය කර තිබෙනවා. 
    Last modified on ඉරිදා, 20 ජනවාරි 2019 08:00

    Latest News