'හිරා පදනමේ' ලියාපදිංචිය ගැන හෙළිදරව්වක්

නොවැ 13, 2020

    නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාට අයත් 'හිරා පදනම' මෙරට තුළ රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස නෛතිකව නිසි පරිදි ලියාපදිංචි කර නොමැති බව ජනාධිපති කොමිසමේදි අද අනාවරණය වුණා.

    පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු මේ පිළිබද අනාවරණය කළ අතර එම අනාවරණය සිදු කරන අවස්ථාවේ එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාද ජනාධිපති කොමිසම් සභා පරිශ්‍රයේ රැදී සිටිම විශේෂත්වයක්.

    කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් උද්ගත වී ඇති තත්ත්වය හමුවේ පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ කටයුතු පසුගිය 27 වන දින තාවකාලිකව අත්හිටවු අතර අද යළි කොමිසමේ කටයුතු ආරම්භ කෙරුණේ සෞඛ්‍ය ආරක්ෂක නිර්දේශයන්ට අනුකූලවයි.

    ඒ අනුව මෙපමණ කල් කොමිසම් සභා පරිශ්‍රය තුළ වාර්තාකරණයේ නිරතවූ මාධ්‍යවේදින්ට අද දින කොමිසම් සභා පරිශ්‍රයෙන් පිටත රැදී සිටිමින් වාර්තාකරණයේ නියලීමට කටයුතු සලසා තිබුණා.

    නැගෙනහිර පළාත් හිටපු අණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාට අයත් සමාජ සේවා සංවිධානයක් ලෙස හැදීන්වෙන ප්‍රශ්නගත හිරා පදනම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම අද දින සාක්ෂි විමසනු ලැබු අතර එයට සවන්දීම සදහා නැගෙනහිර පළාත් හිටපු අණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාද අද දිනයේ ජනාධිපති කොමිසම වෙත පැමිණ තිබුණා.

    එහිදි කොමිසම හමුවේ පළමුව සාක්ෂි ලබාදෙමින් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සමාජ සේවා නිලධාරි දම්මික වාසලබණ්ඩාර මහතා කියා සිටියේ හිරා පදනම 1993.09.09 දින සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බව එම දෙපාර්තමේන්තුවේ ඇති ගොනුවක සදහන්ව ඇති බවයි.

    කෙසේ වෙතත් අදාළ කාලසීමාව තුළ ලියාපදිංචි කර ඇති තවත් සමාජ සේවා සංවිධාන කිහිපයක ලියාපදිංචි අංක සහ හිරා පදනම ලියාපදිංචි කර ඇති අංකය අතර අසාමාන්‍ය වෙනසක් තමාට දකින්නට ඇති බවද සමාජ සේවා නිලධාරියා සදහන් කළා.

    එසේම ලියාපදිංචි වූ බවට හිරා පදනම සතුව ඇති සහතිකයේ එය පිහිටි ස්ථානය ලෙස යොදා ඇති ලිපිනයත්, සමාජ සේවා දේපාර්තමේන්තුවේ හීරා පදනම පිහිටි ස්ථානය ලෙස දක්වා ඇති ලිපිනයත් එකිනෙකට වෙනස් බව සාක්ෂිකරු කොමිසම හමුවේ කියා සිටියා.

    මෙහිදි රජයේ අධිනීතිඥවරයා ප්‍රශ්න කර සිටියේ හිරා පදනම සමාජ සේවා සංවිධානයක් ලෙස ලියාපදිංචි කිරීමට එම සංවිධානය යොමු කළ අයැදුම්පතක් සමාජ සේවා දෙපාර්තමේන්තුව සතුව පවතින්නේද යන්නයි.

    එයට පිළිතුරු දෙමින් සමාජ සේවා නිලධාරියා සදහන් කළේ එවැනි ලේඛනයක් තම දෙපාර්තමේන්තුව සතුව නොමැති අතර හිරා පදනම ලියාපදිංචි වුවා යැයි සදහන් වෙනත් කිසිදු ගොනුවක් දෙපාර්තමේන්තුව සතුව නොමැති බවයි.

    කෙසේ වෙතත් 2011 වර්ෂය වන විට රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ බලය සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර රාජ්‍ය නොවන සංවිධාන පිළිබද මහලේකම් කාර්යාලයට ලබාදුන් අවස්ථාවේ පෙර ලියාපදිංචි කර තිබු සියළු රාජ්‍ය නොවන සංවිධාන යළි එම කාර්යාලය යටතේ ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාවයක් පැනනැගුණු බව නිලධාරියා පැහැදිලි කළා.

    එසේ පැවතියද හිරා සංවිධානය පෙර ලියාපදිංචිය සහතික කරගැනීම සදහා 2011.07.21 දින සමාජ සේවා දෙපාර්තමේන්තුවට යළි ඉල්ලීමක් කර ඇති බවත් තම දෙපාර්තමේන්තුවට රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය පිළිබද බලයක් නොතිබු එම අවස්ථාවේ එච්.එම්.එම් සමීර් නම් අතිරේක අධ්‍යක්ෂවරයෙකු විසින් පෙර ලියාපදිංචිය සහතික කිරීමේ සහතිකයක් නිකුත් කර තිබු බව සමාජ සේවා නිලධාරියා පැහදිලි කළා.

    ඉන් අනතුරුව ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සදහා කැදවුයේ එච්.එම්.එම් සමීර් නම් එකි අතිරේක අධ්‍යක්ෂවරයාවයි.

    එහිදි ජනාධිපති කොමිසම කළ ප්‍රශ්න කිරීම්වලදි ඔහු කියා සිටියේ අදාළ අවස්ථාවේ තමන් පෙර ලියාපදිංචිය පිළිබද විධිමත් සොයා බැලීමක් සිදු නොකර ලියාපදිංචිය සහතික කිරීමේ පිටපතක් නිකුත් කිරීම කළ නොකළ යුතුව පැවති බවයි.

    එහිදි ජනාධිපති කොමිසමේ සභාපති අභියාචනාධිකරණය විනිසුරුවරයා විමසා සිටියේ එම සහතිකය නිකුත් කරන අවස්ථාව වන විට ඔබ එකි සමයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාව දැන සිටියේද යන්නයි.

    එයට පිළිතුරුදෙමින් සාක්ෂිකරු කියා සිටියේ එකි සහතිකය නිකුත් කරන අවස්ථාව වන විට තමන් හිස්බුල්ලා අමාත්‍යවරයාව නොදැන සිටි අතර පසුව මුස්ලීම් කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස පත්වු පසු මුස්ලීම් දේශපාලනඥයින් සමග සබදතා පැවැත්වු බවයි.

    එහිදි ජනාධිපති කොමිසමේ සභාපති අභියාචනාධිකරණය විනිසුරුවරයා යළි විමසා සිටියේ කුමන කටයුතු වලදි ඔබ එම මුස්ලීම් දේශපාලනඥයින් සමග සම්බන්ධ වුනේද යන්නයි.

    මුස්ලීම් පල්ලි ලියාපදිංචි කර ගැනීම සදහා සියළුම මුස්ලීම් දේශපාලනඥයින් ඉල්ලීම් සිදුකළ බව සාක්ෂිකරු කොමිසම හමුවේ කියා සිටියා.

    එහිදි සභාපති විනිසුරුවරයා පෙරළා ප්‍රශ්න කළේ මුස්ලීම් පල්ලි ලියාපදිංචි කර ගැනීමට බලපෑම් කිරීමට මුස්ලීම් අමාත්‍යවරුන්ට මැදිහත්වීමක් කළ නොහැකි නෛතික රාමුවක් තුළ ඔවුන් එවැනි කටයුත්තක් සිදු කරන්නේ කෙසේද යන්නයි.

    එයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ එවැනිම කිසිදු නෛතික බලයක් නොමැති වුවද සෑම මුස්ලීම් දේශපාලනඥයෙක්ම පාහේ මුස්ලීම් පල්ලි ලියාපදිංචි කර ගැනීම සදහා මැදිහත්වීම් සිදුකළ බවයි.

    Last modified on සිකුරාදා, 13 නොවැම්බර් 2020 18:54

    Latest News