ප්‍රසන්නගේ මීතොටමුල්ල නඩුවේ ප්‍රශ්න විමසීම යළි

ජන 17, 2019
    ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ මොරින් රණතුංගට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තා.
    කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ නඩු විභාගය පැවැත්වුණා. එහිදී මෙම නඩුවේ පැමිණිලිකාර ව්‍යාපාරික ජෙරාඩ් මෙන්ඩිස් නමැත්තාගෙන් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා විසින් හරස් ප්‍රශ්න ඇසීම අවසන් කළ අතර රජයේ පාර්ශවයෙන් නැවත ප්‍රශ්න විමසීම ලබන මස 01 වනදා දක්වා කල් තැබුණා.
    මෙම නඩුවේ තුන්වන විත්තිකරු ලෙස නම් කර සිටින නරේශ් කුමාර් ෆාරික් නැමැත්තා මේ වන විට අධිකරණය මගහැර විදේශගතව සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට ද අධිකරණය තීරණය කර තිබෙනවා.
     
    ප්‍රසන්න රණතුංගට හා ඔහුගේ බිරිදට කොළඹ මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරු බිමක් ගොඩ කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදීම සඳහා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර බලාත්කාරයෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා සිටි බවට චෝදනා එල්ල වී තිබෙනවා.  

    Latest News