වෛද්‍යවරයෙක් වීමට අවශ්‍ය සුදුසුකම් ගැන පාර්ලිමේන්තුවේදී සම්මත වූ නියෝගය

නොවැ 03, 2020

    වෛද්‍ය ආඥාපනත යටතේ වූ නියෝග දෙකක් අද (03) පාර්ලිමේන්තුවේ දී සම්මත වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.

    සම්මත වූ එක් නියෝගයක් වූයේ මෙරට වෛද්‍ය සභාවේ ලියාපදිංචි වූ වෛද්‍යවරයෙක් බවට පත්වීමට නම් අවම වශයෙන් උසස් පෙළ ජීවවිද්‍යා විෂය ධාරාවෙන් සම්මාන සාමාර්ථ දෙකක් සහ එක් සාමාන්‍ය සාමාර්ථයක් මූලික සුදුසුකම් වශයෙන් පැවතිය යුතු බවට වූ නියෝගයයි.

    ඊට ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා තම විරෝධය පළකළ අතර, ඔහු යෝජනා කර සිටියේ වසරින් වසර එම සුදුසුකම සංශෝධනයට ලක්වන ලෙස නියෝගය ආඥාපනතට එක්කළ යුතු බවය.

    එබැවින් නියෝග 02 සම්මත නොකර උපදේශක කාරක සභාවේදී ඒ පිළිබඳ ව වැඩිදුර සාකච්ජා කර සංශෝධනය කළයුතු බවට ඔහු යෝජනා කළේය.

    එහෙත් ඊට ආණ්ඩු පක්ෂය එකඟ නොවූ අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එකඟ වූ පරිදි එම නියෝග සම්මත කළයුතු බවට සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පෙන්වා දී තිබේ.

    දිසානායක මහතාගේ විරුද්ධත්වය සටහන් කර ගැනීමෙන් අනතුරුව අදාළ නියෝග දෙක පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

    Latest News