නව ගුවන් හමුදාපතිවරයා වැඩ අරඹයි

නොවැ 03, 2020

    ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ 18 වන ගුවන් හමුදාපතිවරයාවන එයාර් මාර්ෂල් සුදර්ශණ පතිරණ මහතා අද (03) සිය ධූරයේ වැඩ භාරගනු ලැබීය.

    ගුවන් හමුදා මූලස්ථානයේදී අද උදෑසන 9.15ට යෙදුණු සුබ මොහොතින් නව ගුවන් හමුදාපතිවරයා වැඩ ආරම්භ කෙරුණා.

    ධර්මරාජ විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යෙයක් වන එයාර් මාර්ෂල් සුදර්ශණ පතිරණ මහතා 1985 වසරේ දී ආධුනික කැඩෙට් නිලධාරියෙකු ලෙස ගුවන් හමුදාවට එක් විය.

    එයාර් මාර්ෂල් සුදර්ශණ පතිරණ මහතා මෙරට ගුවන් හමුදා ඉතිහාසයේ කීර්තිමත් නිලධාරියෙකු වන අතර ඔහු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේදී විශේෂ දක්ෂතා දැක්වූ නිලධාරියෙකු ලෙස ද සැළකේ.

    ගුවන් හමුදාව සතු ප්‍රහාරක ජෙට්යානා මෙහෙයවමින් ත්‍රස්තවාදීන්ට එරෙහි යුද ඉතිහාසයේ දක්ෂතා දැක්වූ නිලධාරියෙකු වන ඔහු, මෙරටට පළමු මිග්-27 යානාව රැගෙන ආ නිලධාරියා ද වෙයි.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවට 1990 දී සුපර් සොනික් වර්ගයේ F-07 ප්‍රහාරක යානා රැගෙන ඒමේදී තෝරාගත් පළමු ගුවන් නියමුවන් 6 දෙනා අතරට ඔහු ද ඇතුළත් විය.

    1995 වසරේදී කෆීර් ජෙට්යානා රැගෙන ඒමේදී එහි නියමුවෙකු ලෙස කටයුතු කළ සුදර්ශණ පතිරණ මහතා පසුව කෆීර් ජෙට් බලඝනයේ අණදෙන නිලධාරියා ලෙස ද කටයුතු කළේය.

    ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් බලඝන සියල්ලේම දක්ෂ නියමුවෙකු වූ මොහු මෙහෙයුම් අධ්‍යක්ෂ ඇතුළු තනතුරු රැසක් හොඹවමින් ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස ද කටයුතු කර තිබේ.

    Latest News