ජනපති පිලිපීන රාජ්‍ය සංචාරය අරඹයි

ජන 16, 2019

    ශ‍්‍රී ලංකාව සහ පිලිපීනය අතර 58 වසරක රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා තුළ ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයෙකුට පිලීපීන රාජ්‍ය සංචාරයක් සඳහා ආරාධනා හිමි වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් එරට සිව් දින රාජ්‍ය සංචාරයක් ආරම්භ කළ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (15) රාති‍්‍රයේ මැනිලා නුවර නිනෝයි අකිනෝ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය.

    එහිදී එරට වෙළෙඳ ආයෝජන අමාත්‍යවරයා ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් විසින් ජනාධිපතිතුමා ඇතුළු ශ‍්‍රී ලංකා දූත පිරිස මහත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබීය.

    පිලිපීන රජය 1961 ජනවාරි මස කොළඹ දී දූත මණ්ඩල කාර්යාලයක් විවෘත කිරීමත් සමඟ ශ‍්‍රී ලංකාව හා පිලිපීනය අතර රාජ්‍යතාන්ති‍්‍රක සබඳතා ආරම්භ කෙරිණි.1973 වසරේ දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ආණ්ඩුව නියෝජනය කරමින් පිලිපීනයේ සංචාරයක නිරත වූවාය. ඊට පසුව ජාත්‍යන්තර සමුළුව සඳහා සහභාගීවීමට නායකයන් කිහිප දෙනෙකු පිලිපීනයේ සංචාරය කළ ද පිලිපීනයෙන් ශ‍්‍රී ලංකාවට රාජ්‍ය තාන්ති‍්‍රක මට්ටමේ ආරාධනාවක් හිමි වූ පළමු අවස්ථාව මෙයයි. දෙරට අතර පවතින දීර්ඝකාලීන දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික සබඳතා නව ක්ෂේත‍්‍රයන් කරා ව්‍යාප්ත කර ගනිමින් දෙරටටම අන්‍යෝන්‍ය ප‍්‍රතිලාභ හිමිවන අයුරින් සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම ජනාධිපතිතුමාගේ මෙම සංචාරයේ අරමුණයි.

    සිය සංචාරය අරඹමින් අද (16) පෙරවරුවේ මැනිලා නුවර ස්ථාපිත කර ඇති පිලීපීන ජාතික වීරයන්ගේ ස්මාරකය වෙත යන ජනාධිපතිතුමා ඊට පුෂ්පෝපහාර දැක්වීමට නියමිත ය.ඉන් අනතුරුව එරට ජනාධිපති මන්දිරය වන මලකන්යන්ග් පැලස්හි දී (Malacanang Palace) ජනාධිපති රොඞ්රිගෝ ඩියුටර්ට් මැතිතුමා සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවකට එක් වනු ඇති. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පිළිගැනීම වෙනුවෙන් විශේෂ උත්සවයක් ද ජනාධිපති මන්දිරයේ දී සංවිධානය කර තිබේ.

    දෙරට අතර ආරක්ෂක, අධ්‍යාපන, කෘෂිකර්ම සහ සංචාරක ක්ෂේත‍්‍රයන්හි සහයෝගිතාවය ඉහළ නංවා ගැනීම පිළිබඳ ගිවිසුම් කහිපයකට රාජ්‍ය නායක හමුවෙන් අනතුරුව අත්සන් තැබීමට නියමිතය.සිය සංචාරයේ දී පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ සහ ලොස් බැනෝස්හි පවතින ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ සංචාරයකට ද ජනාධිපතිතුමා එක්වන අතර ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තකෙහිකෝ නාකා ඕ මහතා ද (Takehiko Nakao) ජනාධිපතිතුමා හමු වී සාකච්ඡුා පවත්වනු ඇත.

    Last modified on බදාදා, 16 ජනවාරි 2019 09:04

    Latest News