අද තවත් කොවිඩ් රෝගීන් 60 ක්

ඔක් 20, 2020

    මීට සුළු මොහොතකට පෙර තවත් කොවිඩ් ආසාදිතයින් 60ක් තහවුරු වු බව සෞඛ්‍ය අංශ පවසති.

    ඔවුන්ගෙන් 35දෙනෙකු කටුනායක ඇඟලුම් කම්හලක සේවකයින් වන අතර අනෙක් 25දෙනා අශ්‍රිතයින්ය.

     

     

    කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි වයස අවුරුදු 2ක දැරියකට සහ ඇයගේ මවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

    රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පැවසුවේ, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි එම දැරියගේ පියා ද ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇති බවයි.

    අනවශ්‍ය ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණිමෙන් වළකින ලෙස ද ඉල්ලා සිටි රෝහල් අධ්‍යක්ෂවරයා රෝගීන්ට ඔවුන්ගේ සත්‍ය තොරතුරු ලබා දෙන ලෙසත් සඳහන් කළේය.

     

     

    පන්නල පිහිටි ප්‍රධාන පෙළේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන සේවිකාවකට කොරෝනා වයිරසය ආසාදනයවී ඇති බව වාර්තා වීමත් සමඟම එම කර්මාන්ත ශාලාවේ අංශ 03 ක් අද (20) තාවකාලිකව වසා දමා ඇති බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.

    කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි පල්ලියක පැවති දේව මෙහෙයට සහභාගී වූ පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරුවීමත් සමඟම එම කණ්ඩාමට සම්බන්ධ මෙම සේවිකාව ගමන් කළ කර්මාන්තශාලා බස් රථයේ සිටි පිරිස සහ අංශ තුනේ සේවය කරන 60 දෙනෙකුට ආසන්න පිරිසක් නිරෝධයනය කරන බව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.

    පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසය තුළ කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් ගණන ඉහළයෑම සහ ආශ්‍රිතයන් පිරිස වැඩිවීමෙන් ප්‍රදේශයේ ජනතාව වැඩි අවධානයකින් සහ නියමිත සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් කටයුතු කරන ලෙස පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී සාමා හේරත් මහත්මිය අවධාරණය කළේය.

     

    කොළඹ වරාය නැව් තටාකාංගනයෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 18 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ නව ආසාදිතයින් හයදෙනෙකු අලුතින් හඳුනාගැනීමත් සමගයි.

    ඔවුන් බ්ලුමැන්ඩල් පාර නේවාසිකාගාරයේ සිටි අය වන අතර රාගම, මතුගම, වෙන්නප්පුව, ගාල්ල, මීගමුව සහ මාතර මුලටියන යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

    ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 20 දෙනෙකු යාපනය නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

    නැව් තටාකාංගනයෙන් මෙතෙක් හඳුනාගත් ආසාදිතයින් 18 දෙනා අතරින් 9 දෙනෙකු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

    නැව් තටාකාංගනයේ සේවයේ නිරතව සිටීම හේතුවෙන් නිවසේ ස්වයං නිරෝධායනයට යොමු කර සිටි හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ අයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වූ බව හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක ලක්ෂ්මන් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

    අදාළ පුද්ගලයා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කිරීමට ඊයේ (19) රාත්‍රියේ පියවර ගැණුනි.

    ඔහු ගමන් කර තිබූ පහත්ගම ප්‍රදේශයේ වෙළෙඳසල් කිහිපයක් වසා දමා එහි සේවකයින් නිරෝධායනයට යොමු කෙරුණු අතර ආසාදිතයාගේ පවුලේ සාමාජිකයින් ද ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

     

     

    බස්නාහිර පළාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයකුට කොරෝනා වයිරසය ආසාදතවී ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

    එම පොලිස් පරීක්ෂකවරයා රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර සෙසු අනෙකුත් නිලධාරීන් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.

    මෙම විශේෂ විමර්ශන ඒකකය පිහිටා ඇත්තේ කොළඹ කොටුව පොලිස් ස්ථාන ගොඩනැගිල්ල තුළයි.

     

     

    කළුතර දිස්ත්‍රික්කයේ තවත් තිදෙනෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරුවී තිබේ.

    අප කළුතර නාගොඩ මහ රෝහලෙන් සිදුකළ විමසීමකදි එහි නිලධාරිනියක් පැවසුවේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව මොවුන්ට කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී ඇති බවට ඊයේ (19) දිනයේ තහවුරු කර ගත් බවයි.

    මොවුන්ගෙන් දෙදෙනෙකු නාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, අනෙක් ආසාදිතයා පයාගල ප්‍රදේශයේ පදිංචි අයෙකු වේ.

    එක් කාන්තාවක් මතුගම පෞද්ගලික බැංකුවක සේවය කරන නාගොඩ 6 වන මාවතේ පදිංචි තැනැත්තියක් වන අතර, අනෙක් කාන්තාව නාගොඩ විජිත මාවතේ පදිංචි තැනැත්තියක් වේ.

    අනෙක් ආසාදිතයා පයාගල පදිංචි පුද්ගලයෙකු බව නාගොඩ රෝහලේ සඳහන් කරයි.

     

     

    කොග්ගල හෝටලයක් තුළ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටින මිනුවන්ගොඩ ඇගලුම් කම්හලට සම්බන්ද ආශ්‍රිතයින් අතුරින් පුද්ගලයින් 24 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇත.

    අද (20) දින ලැබුණු PCR වාර්තා වලින් තහවුරුවී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා සඳහන් කරනවා.

    එම කොවිඩ් ආසාදිතයන් අතර පිරිමි පුද්ගලයින් 12 දෙනෙකු කාන්තාවන් 09 දෙනෙකු හා පිරිමි දරුවන් 03 නෙකු සිටින බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා සඳහන් කරයි.

    (19) දින මෙහි නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් 272 දෙනෙකුගේ PCR පරික්ෂණ සිදුකර ඇති අතර, ඉන් 24 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇත.

    ආසාදිත රෝගින් වැඩිදුර ප්‍රථිකාර සඳහා රෝහල්වෙත රැගෙන යාමට නියමිතව ඇත.

     

     

    කොළඹ ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ බටහිර කුළුනේ 32වන මහලේ ඇක්ටිව් නොලේජ් පාට්නර්ස් ලංකා පෞද්ගලික ආයතනයේ සේවය කරන සේවකයෙකු කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරුවී තිබේ.

    අදාළ සේවකයා පසුගිය පසුගිය 8 වැනිදා ද එම ආයතනයේ සේවය සඳහා වාර්තා කර ඇති බවට කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    මේ වනවිට ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ බටහිර කුළුනේ 32වන මහලේ පිහිටි අදාළ ආයතනය තාවකාලිකව වසා දමා තිබේ.

    එමෙන්ම එම ආසාදිතයා සමග සමීපව කටයුතු කළ අනෙකුත් සේවකයින්ව ද මේ වනවිට දැනුවත් කර ඇත.

    මෙම ආසාදිතයා කොළඹ වෝඩ් පෙදෙසේ පදිංචිකරුවකු වන බවට ද තොරතුරු වාර්තා වේ.

    Last modified on අඟහරුවාදා, 20 ඔක්තෝබර් 2020 18:54

    Latest News