බොරැල්ල රාජ්‍ය සේවක නිවාස සංකීර්ණය 05 විවෘත කෙරේ

ඔක් 03, 2020

    රාජ්‍ය සේවකයින් වෙනුවෙන් ඉදිකරන ලද බොරැල්ල, වනාතමුල්ල, ඕවල් විව් රෙසිඩන්සි (Ovalview Residencey) නිවාස ව්‍යාපෘතිය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 05 වැනි දින පෙ.ව. 11.00 ට විවෘත කිරීමට නියමිතයි.

    පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ දී වසර 1 1/2 ක පමණ ප්‍රමාදයක් මෙම නිවාස සංකීර්ණය ඉදිකිරීමේ දී සිදු වූ අතර අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් අනුව පසුගිය දිනවල ඉදිකිරීමේ කටයුතු කඩිනම් කර මෙම නිවාස ව්‍යාපෘතියේ වැඩකටයුතු අවසන් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කළේය.

    රාජ්‍ය සේවකයින් වෙනුවෙන් මෙම නිවාස ව්‍යාපෘතිය 2014 වසරේ නොවැම්බර් මාසයේ දී ආරම්භ කළේ වර්තමාන ජනාධිපති, එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් අනුවයි.

    2015 වසරේ දී මෙම මහල් නිවාස සංකීර්ණය ඉදිකිරීමේ කටයුතු නතර කෙරුණු අතර නැවත මෙහි ඉදිකිරීම් කටයුතු 2016 වසරේ මැද භාගයේ දී ආරම්භ කෙරිණි.

    පෙර විකුණුම් පදනම මත ඉදිකිරීම් ආරම්භ කෙරුණු මෙම නිවාස සංකීර්ණයේ නිවාස 608 ම මේ වන විට විකිණී අවසන්වී ඇති බව, නාගරික සංවර්ධන අධිකාරියේ වැ.බ. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දේපල හා ඉඩම් කළමණාකරන) ඊ.ඒ.සී. ප්‍රියශාන්ත මහතා ප්‍රකාශ කරයි.

    සමස්ථ ව්‍යාපෘතිය සඳහා මූලික ඇස්තමේන්තු ගත වියදම රුපියල් මිලියන 5500 ක්.

    නිදන කාමර 3 කින් සමන්විත නිවාස 304 කින් සහ නිදන කාමර 2 කින් සමන්විත නිවාස 304 කින් මෙම මහල් නිවාස සංකීර්ණය සමන්විතයි.

    මෙහි එක් නිවාස වර්ගයක් වර්ග අඩි 680 ක් වන අතර අනෙක් නිවාස වර්ගය වර්ග අඩි 880 ක් වේ.

    අංග සම්පූර්ණ මෙම මහල් නිවාස සංකීර්ණය තට්ටු 25 කින් සමන්විතයි.

    රථ ගාලක්, ළමා උද්‍යානයක්, ව්‍යායම් මධ්‍යස්ථාන 2 ක්, වෙළෙඳ සංකීර්ණයක්, පිහිනුම් තටාකයක් ඇතුළු පහසුකම් රැසකින් මෙය සමන්විත වේ.

    වනාතමුල්ලේ පිහිටි පී. සරණමුත්තු ක්‍රීඩාංගනය (ඕවල්) අසලම මෙම නිවාස සංකීර්ණය පිහිටා ඇත.

    වසර 15 ක් වසර 20 ක් රාජ්‍ය සේවයේ යෙදී සිටින නිලධාරීන් සහ සේවකයින් මෙම නිවාස මිලදී ගෙන ඇති බවත් ඔවුන් සහන ගෙවීමේ ක්‍රමයට ණය පහසුකම් ද සමඟින් මෙම නිවාස ලබා ගෙන තිබෙන බවත් වැ.බ. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දේපල හා ඉඩම් කළමණාකරන) ඊ.ඒ.සී. ප්‍රියශාන්ත මහතා ප්‍රකාශ කරයි.

    Last modified on සෙනසුරාදා, 03 ඔක්තෝබර් 2020 09:58

    Latest News