දේශීය උඳු භාවිතය ව්‍යාප්ත කර විදේශ විනිමය ඉතිරි කරගැනීමට සැලැස්මක්

සැප් 23, 2020

    දේශීය උඳු භාවිත කර ආහාර නිෂ්පාදනයෙන් විදේශ විනිමය ඉතිරි කර ගැනීමට මෙන්ම දේශීය ගොවියා ශක්තිමත් කිරීමට හැකි වන බව, ආර්ථික පුනර්ජීවනය හා ධරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

    ඔහු මේ බව සඳහන් කළේ, පපඩම් හා කුලු බඩු නිෂ්පාදන කර්මාන්තකරුවන් සමඟ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ජාවකදී. වෙළෙඳපොළේ පවතින උඳු හිඟය නිසා කුඩා හා මධ්‍ය පරිමාණ කුලු බඩු නිෂ්පාදකයින් විශාල ගැටලුවකට මුහුණ පා සිටින බව පපඩම් හා කුලු බඩු නිෂ්පාදන කර්මාන්තකරුවන් පෙන්වා දුන්නේය. ඔවුන් පැවසුවේ ආනයනික උඳුපිටි කිලෝවක මිල රුපියල් 800ක් වුවද, පිරිසිදු කළ දේශීය උඳු කිලෝවක මිල රුපියල් 1,300ක් වන බැවින් පාරිභෝගිකයින් ආනයනික උඳු පාරිභෝජනයට යොමු වී සිටින බවයි.

    ජාතික අවශ්‍යතාව උඳු ටොන් 20,000ක් වුවද, රට තුළ වගා කෙරෙන්නේ ටොන් 5,000ක් පමණි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කර ඇති සෞභාග්‍යයා ව්‍යාපෘතිය යටතේ මේ වසරේ සිට උඳු ටොන් 25,000ක අස්වැන්නක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව එම කාර්ය සාධක බලකාය පවසයි.

    Latest News