සූදුවෙන් පාතාලයට ගිය ක්‍රිකට් ගැන කීමට සති 02ක්

ජන 09, 2019

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ හා වංචා පිළිබදව වාර්තා කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාවට සති දෙකක සහන කාලයක් ලබා දී තිබේ.

    ඒ සදහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ විශේෂ නියෝජිතයෙකු ස්ටීව් රිචට්සන් මහතා අද දිවයිනට පැමිණ ඇත.

    ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත ක්‍රීඩකයින් හා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව රාජකාරි කරන සියළුම දෙනාට අද (09) ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැහැදිලි කිරීමක් සිදු කෙරිණ.

    අදහස් දැක්වු විදුලි සංදේශ,විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රණාන්දු - “ශ්‍රී ලංකා ක්‍රිකට් අයිති කාටද? ශ්‍රී ලංකා ක්‍රිකට් අයිති ක්‍රීඩා අමාත්‍යවරයාටවත්, ක්‍රීඩා නිළධාරීන්ටවත්, ඈෂ්ලිද සිල්වා මහත්තයාටවත් නෙවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් අයිති ඔබ සියලු දෙනාට. ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිසිදු කරනවා නම් ඒක කරන්න ඕනේ අපි සියළුදෙනාම එකතුවෙලා. අද ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන විශාල කතාබහකට ලක් වෙනවා.

    ක්‍රිකට් ගහන්නනම් ජීවිතේ හොදම කාලේ පිට්ටනිවල අව්වේ කර වෙන්න ඕනේ. දවස් දෙක තුනක් නෙවෙයි. අවුරුදු 13 න් පහල ඉදන් පුහුණු වීගෙන එන්නේ. ජීවිතේම ක්‍රිකට් කරගෙන ඉන්නේ. බොහෝ වෙලාවල්වල සාමාන්‍ය පෙල විභාගය පවා සමත් වීමට අපහසු වෙනවා. උසස් පෙළ ගොඩදාගන්න ගොඩාක් අපහසු වෙනවා. ඒකට හේතුව ක්‍රිකට් වෙනුවෙන් පිට්ටනිවලම ඉන්න වෙන නිසා.

    පසුගිය කාල වකවානුවලදී අපිට ප්‍රශ්න කීපයක් මේ ක්‍රිකට් ක්‍රීඩාවට රිංගලා තියෙනවා කියලා පැහැදිලිව පේනවා. මම මුලින්ම කිවුවේ ක්‍රිකට් පිරිසිදු කරනවා නම් ඒ හැකියාව තිබෙන්නේ ඔබ සැමට. ක්‍රිකට්වල අයිතිකාරයෝ ඔබතුමාලා. ඔබතුමාලට වෙන අසාධාරනකම් සම්බන්ධයෙන් මම විශාල සැලකිල්ලක් දක්වනවා. ක්‍රීඩකයෙක්ට හම්බෙන මුදල කීයද, ඩිවිෂන් 2 ගහන ක්‍රීඩකයෙක්ට හම්බෙන්නේ කීයද, කොන්ත්‍රාත් සම්බන්ධයෙන් මොකද වෙන්නේ කියලා මම අවධානයෙන් ඉන්නේ.

    දැන් අපිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් විශාල චොදනාවක් එල්ල වෙලා තිබෙනවා. මම අමාත්‍යාංශය භාර අරගෙන මුලින්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිළධාරීන් හමුවේදී මට කිවුවේ ක්‍රිකට් වලින් දූෂිතම රට විදියට ශ්‍රී ලංකාව දකිනවා කියලා. ක්‍රිකට්වලට ආදරේ කරන මට ඒක අහපුවාම හදවතට ලොකු දුකක් දැනුනා. සිම්බාබ්වේ රටට වඩා අපි නරකයි කිවුවා.

    අපිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් සති දෙකක සහන කාලයක් ලබා දුන්නා. මේ සති දෙකක කාලයක් තුල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කාර්යාලයක් අපේ රටේ පවත්වාගෙන යනවා. ඔබතුමාලා ක්‍රිකට් සම්බන්ධව යම්කිසි වංචාවක්, දූෂණයක් පිළිබදව දන්නවා නම් ඒ කාර්යාලය වෙත ගොස් ලබා දෙන්න පුළුවන්. මගේ වගකීම යුතුකම තමා ඒ තොරතුරු ලබා දෙන ඔබතුමාලාව රැකගන්න එක. මම ආරක්ෂාව ලබා දෙනවා ඔබතුමාලාට. මම නීතිපති දෙපාර්තමේන්තුවට යවලා තිබෙනවා. මම හිතනවා මාර්තු වෙන විට පාර්ලිමේන්තුවට යොමු කලාට පස්සේ නීතියක් සම්මත වෙනවා ලංකාවේ යම්කිසි දූෂණ වරදකට කෙනෙක් අහුවුනොත් වසර 05 දක්වා සිර දඩුවමක්ද , විශාල මුදලක් දඩ වශයෙන්ද ගෙවන්න සිදු වෙනවා.

    ක්‍රිකට් ක්‍රීඩාව වෘත්තීය මට්ටමක් වෙලා. මුදල් විශාල ප්‍රමාණයෙන් ඇදී එන ක්‍රීඩාවක් බවට පත් වෙලා. මෙ පමණ මුදල් ප්‍රමාණයක් සංසරණය වෙද්දී අපි අවධානයෙන් ඉන්න වෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිළධාරීන් මට අවසාන වශයෙන් පෙන්වලා දුන්නේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සූදුවට එහා ගිය පාතාලය එක්ක සම්බන්ධ දෙයක් කිවුවා. මේක හරි දරුණු චෝදනාවක්. මම පැහැදිලිව එක පොරොන්දුවක් වෙනවා. මමත් අපේ ලේකම්තුමාලාත් මෙම තත්වයෙන් ක්‍රිකට් මුදවා ගන්න අවශ්‍ය වපසරිය සකස් කරනවා. පැරණි, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ කිහිපදෙනෙක් මේ සදහා අවශ්‍ය සහයෝගය ලබා දෙන්න ඉදිරිපත් වෙලා තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව පිරිසිදු කරන්න අපි එකතුවෙමු. නිළවරණය ගැන, අතුරු පාලක කමිටු ගැන අපි වද වෙන්න අවශ්‍ය නැහැ. එන කෙනෙක් එයි. යන කෙනෙක් යයි. අපි සියලුදෙනා එකතුවෙලා ක්‍රිකට් ක්‍රීඩාව පිරිසිදු කරමු. මේ සදහා අවශ්‍ය කරන සහයෝගය දෙන්න. එහෙම වුනාම පුලුවන් මේ අපි ආසා කරන, රට බබලවන, ලොව ආසා කරන ක්‍රිකට් ක්‍රීඩාව නැවත වතාවක් හොද තැනකට ගෙන්න පුලුවන්. තරුණ ක්‍රීඩකයෝ විවෘතව ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න. ක්‍රීඩකයින් තනි තනියම ඇවිත් කතා කලාම ඒක වැරදි මතයක් බවට පත් වෙනවා. ඒ නිසා කණ්ඩායමක් විදියට ඇවිල්ලා කතා කරන්න.

    ඔබ සියලු දෙනාට දකින්න පුලුවන් වුනා පහුගිය දින කීපයේ මම දැක්කා ක්‍රීඩකයින්ගේ භාර්යාවන් ගැටළුවක් ඇති කරගෙන. මම සැමගෙන් ඉල්ලන්නේ බිරිදව ගෙදර තියලා එන්න. පිට්ටනියේ ක්‍රිකට් ගහන්න කියලා. ඒ තත්වෙට අපි වැටිය යුතු නැහැ. ඒක හරි ශෝචනීයයි. අපිට ලැජ්ජයි ඒ දේවල් දකිද්දි. මේක හංගන්න දෙයක් නැ. එහෙම වෙනකොට ලංකාව ගැන ලෝකය දකින්නේ මහ පිස්සු රටක් විදියට. ප්‍රශ්න ඇති. ඒවා ගෙදර තියලා එන්න. හැබැයි ක්‍රීඩා පිට්ටනියේ කණ්ඩායමක් විදියට සෙල්ලම් කරන්න. තනියම සෙල්ලම් කරලා නම් අපිට කවදාවත් ජයග්‍රහණය කරන්න ලැබෙන් නැහැ.

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අපිට දුන්නු මේ සති දෙකක සහන කාලය තුල ඔබ දන්න ක්‍රිකට් දුෂණ වංචා පිළිබද වාර්තා ලබා දෙන්න. අනෙක් යාලුවන්ටත් මේ පණිවිඩය ලබා දෙන්න.

    ඩිවිෂන් 2 තරගාවලියක් පවත්වන්න සියළු කටයුතු සූදානම් කරලා තිබෙන්නේ. සිලෙක්ටස්ලාට මම දැනුම් දෙනවා හැමදාම එකම කණ්ඩායමක් ඉදිරිපත් කරනවා වෙනුවට දක්ෂ ළමයින්ට ඉඩ හදලා දෙන්න. පාසල් ක්‍රිකට් මට්ටමේ ඉදලා අපි හොද අධික්ෂණයක් කරලා ක්‍රිකට් ක්‍රීඩකයින් තෝරාගන් කටයුතු කරනවා. මේ දේවල් කරන්න ක්‍රිකට් ක්‍රීඩාව පිරිසිදු කරලා දෙන්න ඔබසැමට වගකීමක් තියෙනවා. විශ්වාසෙන් ඉන්න. අපි නැවත වතාවක් ලංකාව ක්‍රිකට් වලින් අංක එක බවට පත් කරනවා“ යැයි ඔහු කියා සිටියේය.

    මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් චූලාන්නද පෙරේරා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විශේෂ නියෝජිත ස්ටීව් රිචට්සන් යන මහත්වරු සහභාගී වුහ.

    Latest News