ගිනිගත් ඩයමන්ඩ් නෞකාව නාවුක සැතපුම් 35ක් දුරට රැගෙන යයි (වීඩියෝ)

සැප් 05, 2020
  • එම්ටී නිව් ඩයමන්ඩ් (MT New Diamond) නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇති වූ ගින්න පාලනය කර නෞකාව උදෑසන 05.30 වන විට නාවික සැතපුම් 35ක පමණ දුරක රඳවා තබාගෙන ඇත.

    ගිනි ගැනීමට ලක්වූ නෞකාවේ ගබඩා කොට ඇති ඉන්ධන කිසිදු ලෙසකින් පිටතට කාන්දුවීමක් සිදුව නොමැති බවයි ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

    සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනයක් තබමින් ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය මේ බව සඳහන් කර සිටියි.

    තවදුරටත් ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ඉන්දියානු නාවික හමුදාව සහ ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ඒකාබද්ධව කටයුතු කරමින් සිටියි.

    මෙම ආපදා සහන මෙහෙයුමට සහය වීම සඳහා ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් සාරංග් (ICGS Sarang) නෞකාව, සුජේ (ICGS Sujay) නෞකාව සහ ගිනි නිවීමේ උපාංග සහ වෘත්තීය ගිනි නිවීමේ විශේෂඥයින්ගෙන් සමන්විත ගැඹුරු මුහුදේ මෙහෙයුම් සිදු කරනු ලබන ටීටීටී 1 (TTT One) නමැති ටග් යාත්‍රාව සහ ඉන්දියානු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩ්‍රෝනියර් ගුවන් යානා දෙකක් (02) ආපදා සහන මෙහෙයුමට පෙර දින රාත්‍රියේ අළුතෙන් එක්වී ඇත.

    මේ වන විට ගින්න පැතිරීම පාලනය කිරීමට කටයුතු කර ඇති අතර, ඩ්‍රෝනියර් ගුවන් යානා මත්තල මහින්ද රාජපක්‍ෂ ජාත්‍යාන්තර ගුවන් තොටුපලෙහි ස්ථානගතකර ඇත.

    මෙම හදිසි ආපදා තත්වය මත රාජ්‍ය සහ පෞද්ගලික ආයතනයන් මගින් ගිනි නිවීම සඳහා ලබා දුන් රසායනික ද්‍රව්‍ය රැගත් ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව, සහ පී 4442 වේග ප්‍රහාරක යාත්‍රාව ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් සමුද්‍රාරක්‍ෂා සහ සමාරක්‍ෂා යන නෞකාවන් ද මේ වන විට ආපදා සහන මෙහෙයුමට සම්බන්ධ වී අවශ්‍ය සහය ලබා දෙමින් ඇත.

    Last modified on සෙනසුරාදා, 05 සැප්තැම්බර් 2020 20:42

    Latest News