2015 ජනපතිවරයේ රාජපක්‍ෂ මහතාගේ දැන්වීම්වලින් රූපවාහිනියට පාඩුවක්, හිඟ මුදලක් අයවිය යුතු බවට විගණන වාර්තා නැහැ

ජූලි 22, 2020

    2015 වසරේ ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ ප්‍රවර්ධන දැන්වීම්වලින් ජාතික රූපවාහිනියට පාඩුවක් වූ බවට හෝ හිඟ මුදලක් අය විය යුතු බවට හෝ කිසිදු විගණන වාර්තාවක ඇතුලත් වී නැතැයි, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු අලෙවි අධ්‍යක්‍ෂ සනත් දළුවත්ත මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, දේශපාලන පලිගැනීම් පිලිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්‍ෂි දෙමින්. සංස්ථා වාර්ෂික ගිණුම් වාර්තාවල එවන් ණය මුදලක් අයවිය යුතු බවට හෝ හිඟ තබා පාඩුකර ඇති බවට හෝ සඳහන් වන්නේ නැතැයි, අදාළ වාර්ෂික ගිණුම් වාර්තා කොමිසමට ඉදිරිපත් කරමින් ඔහු කියා සිටියේය.

    ව්‍යාජ ලේඛන සකසා දෙන්නැයි, අල්ලස් කොමිසමේ නිලධාරීන් තමන්ට බලපෑම් කළ බවත්, ජාතික සේවක සංගමය දේශපාලන බලපෑම් කළ බවත් දළුවත්ත මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළේය. දැන්වීම් ප්‍රචාරය කොට සියලු මුදල් ගෙවා මාස 03කට පසු මෙම ලේඛන අල්ලස් කොමිසම තමන්ගෙන් ලබාගත් බව කී දළුවත්ත මහතා, අදාල දැන්වීම් ආයතනය හා රූපවාහිනී සංස්ථාව අතර ඇතිකරගත් ගිවිසුම්ගත දැන්වීම් සඳහා රුපියල් මිලියන 44යි, පන් ලක්‍ෂ 12,744 ක මුදලක් ලැබී ඇතැයි ද ප්‍රකාශ කළේය. එමෙන්ම, තවත් රුපියල් මිලියන 3.2ක මුදලක් ද ගෙවා තිබේ.

    එම දැන්වීම්වලට මිලියන 144කට අධික මුදලක් හිමිවිය යුතු බවට ලේඛන සකසා දුන්නේ තමන් බවත්, එම ලේඛන අල්ලස් කොමිසමේ බලපෑම් පරිදි ලබාදුන් බවත් කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් ඔහු කියා සිටියේය. ප්‍රචාරක දැන්වීම් සමාගම හා සංස්ථා සභාපති අධ්‍යක්‍ෂ මණ්ඩලයේ තීරණය අනුව මිල නියම කෙරිණ. එම වකවානුයේ රූපවාහිනි සංස්ථාව ලබා සිටි ජනප්‍රියතාව මත මිල තීරණය වූ බව ද දළුවත්ත මහතා සඳහන් කළේය.

    එක්සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ ජාතික සේවක සංගමයේ හා ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ අදාල සේවක සංගමයේ අනුදැනුම ඇතිව එවකට හිටපු සභාපතිවරයා තීරණ ගෙන තමන්ට දේශපාලන බලපෑම් කළ බව ඔහු කියා සිටියේය. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, හිටපු අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ඒකනායක හා හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රන්නාදු යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සාක්‍ෂි විමසීම සිදු කෙරිණ.

    Latest News