කොවිඩ්-19; ජින්තුපිටියෙන් හඳුනා ගැනුණු රෝගියාට කොරෝනා නැහැ; විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ (වීඩියෝ)

ජූලි 05, 2020
  • කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයෙන් පසුගියදා හඳුනා ගැනුණු කොවිඩ්-19 රෝගියාට එම රෝගය වැළඳී නොමැති බව වාර්තාවේ.

    ඔහුව රෝහල් ගත කිරීමෙන් පසුව කළ පීසීආර් පරීක්‍ෂණ 05ක ප්‍රතිඵල මත මෙය තහවුරු වූ බව, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඉකුත්දා අදාළ කොවිඩ්-19 රෝගියා වාර්තාවීමත් සමඟ ඔහුගේ ආශ්‍රිතයන් බවට හඳුනා ගැනුණු ජින්තුපිටිය ප්‍රදේශයේ 154 දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරිණ. ආරක්‍ෂිත පියවරක් වශයෙන් ඔවුන් පීසීආර් පරීක්‍ෂණ සඳහා යොමුකර තිබේ. ඔවුන්ගෙන් කිසිවෙකුටත් කොවිඩ්-19 ආසාදනය වී නොමැති බව එම පරීක්‍ෂණවලින් තහවුරු වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන්. ඒ අනුව ඔවුන් සිය නිවෙස් වෙත පිටත් කර යැවීමට කටයුතු කර ඇති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

    මෙරටින් කොවිඩ්-19 රෝගය වැළඳුනු කිසිදු රෝගියෙකු අද වාර්තා නොවූ බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. කොවිඩ්-19 රෝගය වැළඳුණු මෙරට සමස්ත රෝගීන් අතරින් 1,903 දෙනෙකුම පූර්ණ සුවය ලබා ඇතැයි වාර්තාවේ. ප්‍රතිශතය 91.75ක්. තවදුරටත් රෝල්ගතව ප්‍රතිකාර ලබන්නේ 160 දෙනෙකු පමණි. එම ප්‍රතිශතය 7.71ක්. අද වනවිට මෙරට තුල පීසීආර් පරීක්‍ෂණ එක් ලක්‍ෂ 15,876ක් සිදුකර තිබේ. ඊයේ සිදුකර ඇති පීසීආර් පරීක්‍ෂණ සංඛ්‍යාව 852ක්. මේ අතර පසුගිය අප්‍රේල් 25 සිට මේ දක්වා කාලය තුළ කිසිදු රෝගියෙකු බාහිර සමාජයෙන් වාර්තා වී නොමැත. අවසාන වශයෙන් වාර්තාවූ නාවික හමුදා සාමාජිකයා හඳුනාගෙන ඇත්තේ ද මීට දින 08කට පෙර.

    දිවයිනට පැමිණිමට නොහැකිව බහරෙන්හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද උදේ මෙරටට පැමිණියේය. ඊට 283 දෙනෙකු අයත්. සියලු දෙනාම ගුවන් තොටුපල තුළදීම පීසීආර් පරීක්‍ෂණවලට ලක් කෙරිණ. නිරෝධායනය සඳහා යොමු කෙරුනේ, ඉන් අනතුරුවයි.

    මාලදිවයිනේ රැඳී සිටි පිරිසක් ද අද උදේ පැමිණියේය. ඊට 120 දෙනෙකු අයත්. ඔවුන් සියලු දෙනා ද ගුවන් තොටුපල තුළදීම පීසීආර් පරීක්‍ෂණවලට ලක්කර නිරෝධායනය සඳහා යොමු කෙරිණ.

    ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන දියගම නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පිරිසක් අද සිය නිරෝධායන කාලසීමාව අවසන් කළේය. ඊට 28 දෙනෙකු අයත්. ඔවුන් ඉන්දියාව, ඩුබායි සහ කෙන්යාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයන්.

    මේ වනවිට ලොව පුරා සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි 13න් ලක්‍ෂයට ඉක්මවයි. සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව පන්ලක්‍ෂ 38,000කට අධිකයි. වෛරසය ආසාදනය වී මෙතෙක් සුවය ලබා ඇත්තේ 64 ලක්‍ෂ 50,000කට ආසන්න පිරිසක් පමණි.

    ඉකුත් පැය 24 තුළ අසල්වැසි ඉන්දියාවෙන් කොරෝනා වෛරස් ආසාදිතයන් 24,015ක් හඳුනා ගැණින. එම කාලසීමාවේදී සිදුවූ මරණ සංඛ්‍යාව 616ක්.

    දකුණු අමෙරිකාවේ, මෙක්සිකෝවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව අද 30,000 ඉක්මවා ගියේය. ඒ අනුව යුරෝපයේ කොරෝනා මරණ ඉහළ රටක් වූ ප්‍රංශයේ සමස්ත මරණ සංඛ්‍යාව අභිබවා යමින්, ලොව

    වැඩිම කොරෝනා මරණ සිදුවූ රටවල් අතර, පස්වන ස්ථානයට මෙක්සිකෝව පත්විය. 

    ජපානයේ ටෝකියෝ අගනුවර ආණ්ඩුකාරවරයා තෝරා පත්කර ගැනීමේ මැතිවරණ අද පැවැත්විණ. කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනයට ගෙන ගිය ප්‍රශස්ත වැඩපිළිවෙළ හේතුවෙන්, වත්මන් ආණ්ඩුකාර යුරිකෝ කොයිකේ මෙවර මැතිවරණයෙන් යළි බලයට පත්වනු ඇතැයි විශ්වාස කෙරේ. ඇය. 2016 වසරේ දී ටෝකියෝ ආණ්ඩුකාර ධූරයට පත්වූයේ අගනුවර ප්‍රථම කාන්තා ආණ්ඩුකාරවරිය බවට පත්වෙමින්.

    Last modified on සදුදා, 06 ජූලි 2020 12:15

    Latest News