නීති විරෝධි භාණ්ඩ රැඳවියන්ට ලබාදීමට තැත් කළ සැකකරුවන් 4ක් දැලේ

ජූනි 28, 2020

    නීතියෙන් තහනම් කර ඇති ද්‍රව්‍ය හා භාණ්ඩ කිහිපයක් මැගසින් බන්ධනාගාර රැඳවියන්ට ලබාදීමට සැලසුම් කර සිටි සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ, බොරැල්ල පොලිසිය විසින්. සැකකරුවන් අවුරුදු 28,29, 34,42 වයස්වල පසුවූ බොරැල්ල සීවලිපුර ප්‍රදේශයෙන් පදිංචිකරුවන්.

    පසුගිය 26 වැනිදා පෙරවරු 10.00ට පමණ බොරැල්ල පොලිස් වසමේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ තාප්පය අසල සැකකටයුතු පාර්සලයක් බොරැල්ල පොලිස් නිලධාරීන් විසින් සොයා ගනු ලැබීය. ජංගම දුරකතනයක්, දුරකතන චාජරයක්, හෙරොයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 547ක්. අයිස් ග්‍රෑම් 8 මිලිග්‍රෑම් 540ක්. දුම්කොළ ග්‍රෑම් 32 මිලිග්‍රෑම් 594ක් එහි තිබී පොලිස් භාරයට ගැණින.

    මේ පිළිබඳ සිදු කෙරුණු විමර්ශනවලදී එදිනම පස්වරු 4.40ට පමණ සීවලීපුර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 9 මිලිග්‍රෑම් 128ක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔවුන් පිලිබඳ සිසු කළ විමර්ශනයේ දී බන්ධනාගාරය තුළට විසි කිරීමට සූදානම් කර තිබූ ජංගම දුරකථන 3ක්, දුරකතන බැටරි 119ක්, චාජර් 21ක්, හෑන්ඩ්ෆ්‍රී 3ක්, මාවා ග්‍රෑම් 136ක් ඇතුළු තවත් භාණ්ඩ රැසක් ද සොයා ගැණින. සැකකරුවන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කෙරුණු අතර, ලබන 02 වැනි දින දක්වා දින 7ක් රැඳවුම් භාරයේ තබා ගැනීමට නියෝග කෙරිණ.

    ලුණුගම්වෙහෙර පොලිස් වසමේ පඩවිගම ප්‍රදේශයේ දී පර්චස් 15ක පමණ වගා කෙරුණු ගංජා හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කතරගම පොලිස් විශේෂ බලකා කඳවුරේ නිලධාරීන් සමත්ව තිබේ. සැකකරු අවුරුදු 63ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ලබන 01 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණ.

    Latest News