ලලිත් වීරතුංග - අනූෂ පැල්පිට යන අයට ගොනුකර ඇති අභියාචනා කැඳවීම 23

ජූනි 09, 2020

    සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින ලලිත් වීරතුංග, අනූෂ පැල්පිට යන මහත්වරුන් ඔවුන්ට ලබා දුන් දඬුවමට එරෙහිව ගොනුකර තිබෙන අභියාචනා ලබන මස 23 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

    ලලිත් වීරතුංග මහතා වෙත අධිකරණය පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කරමින් දැනටමත් ලබා දී තිබෙන නියෝගය මීළඟ නඩු දිනය දක්වා දීර්ඝ කරන ලෙස ද අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල නියෝග කළා.

    මෙම අභියාචනා අද කැඳවූයේ කුමුදුනී වික්‍රමසිංහ,දේවිකා අබේරත්න යන මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේදීයි.

    එහිදී දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ගේ එකඟතාව මත අභියාචනා පිළිබඳ විභාගය ලබන මස 23 වනදා කැඳවීමට නියම කෙරුණා.

    2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600 ක පමණ මුදලක් වැයකර දිවයින පුරා විහාරස්ථාන වෙත සිල්රෙදි බෙදා දීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවටයි පසුගිය පාලන සමයේදී චෝදනා කරමින් නඩු පැවරීම සිදු කෙරුණේ.

    හිටපු ජනාධිපති ලෙකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන්ට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

    ඒ අනුව 2017 වසරේ දී මෙම දෙදෙනාට බරපතල වැඩ සහිත වසර 3 ක සිරදඬුවමක් කොළඹ මහාධිකරණය නියම කළා.

    එහෙත් මෙසේ දඬුවම් නියම කිරීම නීති විරෝධී බව පවසමින් අභියාචනා ඉදිරිපත් කෙරුණා.

    ඒ අනුවයි ඇප නියම කෙරුණේ.

    Latest News