විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීමට නව ක්‍රමවේදයක්

මැයි 26, 2020

    කොවිඩ් - 19 වසංගතය ව්‍යාප්තිය හමුවේ අතරමංව සිටින හෝ විවිධ දුෂ්කරතාවනට මුහුණපා සිටින විදේශගත ශ්‍රී ලාංකිකයන් සිය රට ගෙන්වා ගැනීම සඳහා නව ක්‍රමයක් සකස් කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර සිටී.

    හෙට (27) පැවැත්වෙන සාකච්ඡාවකදී නව වැඩපිළිවෙළ තීරණය කරනු ලබන අතර විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් ඒ අනුව ජුනි මස සිට සැලසුම් කිරීමට නියමිතයි.

    පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි සිට පැමිණි 197 දෙනාගෙන් 22ක් කොරෝනා ආසාදිතයන් බව හෙලිව ඇත.

    කුවේට් සිට පැමිණි 462 දෙනාගෙන් දැනට 150 දෙනෙකු PCR පරීක්ෂණයට ලක් කර ඇති අතර 96 දෙනෙක්ම කොරෝනා රෝගීන් ලෙස හඳුනා ගෙන ඇත.

    තවත් 300කට වැඩි පිරිසක් පරීක්ෂණයට භාජන කළයුතුව තිබේ.

    කුවේට්හි සිට සිය රට ආ සියලුදෙනාම පාහේ විවිධ හේතු නිසා එරට රැඳවුම් ස්ථානවල හෝ පිටුවහල් කිරීමේ කඳවුරුවල සිටි අයයි.

    ආසාදිතයන් ලෙස හඳුනාගත් අයට ප්‍රතිකාර කිරීම අවශ්‍යතාවයකි.

    මේ පසුබිම මත එතෙර වෙසෙන ශ්‍රී ලාංකිකයන් යළි ගෙන්වා ගැනීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීමට තීරණය කර තිබේ.

    ගෙන්වා නොගතහොත් ඔවුනට අත්වන ඉරණම මානුෂීය දෘෂ්ටියකින් බලා ඔවුන් ගෙන්වා ගැනීම ඉදිරියටත් සිදු කිරීමට රජය තීරණය කර ඇත.

    නව ක්‍රමවේදය සකස් කිරීම පිණිස හෙට පැවැත්වෙන සාකච්ඡාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජනාධිපති කාර්යාලයේ විදේශ සබඳතා අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ, විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සහභාගී වීමට නියමිතව තිබේ.

    Latest News