අගමැති - බොරු ප්‍රචාර කලු මාධ්‍ය හෙලි කළ යුතුයි (විඩියෝ)

දෙසැ 22, 2018
  • කැබිනට් ඇමැති ධුර සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නම්කර යැවූ මන්ත්‍රීවරුන්ගේ නම් ජනාධිපතිවරයා විසින් කපා හැර දමා ඇතැයි ඇතැම් මාධ්‍ය විසින් පළ කිරීම කළු මාධ්‍ය ක්‍රියාවලියක් බවත් එවැනි සාවද්‍ය තොරතුරු පළ කළ කළු මාධ්‍යයන් පිළිබඳ රටට හෙළි කළ යුතු බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් රජයට එක් වූ විජිත් විජිතමුණි සොයිසා මහතාගේ නම තමන් කැබිනට් ඇමැති ධුරයක් සඳහා නම් නොකළ බවත් ඔහුගේ නම ජනාධිපතිවරයා විසින් කපා හැර දමා‍ ඇති බවට පළ කළ මාධ්‍ය සම්බන්ධයෙන් තමන් පුදුම වූ බවත් අගමැතිවරයා පැවැසීය.

    එවැනි ආකාරයට තමන් විසින් නම් කර නොයැවූ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු පිළිබඳ මාධ්‍ය වාර්තා පළ වූ බවත් එම වාර්තා පළ වූ කිසිඳු මාධ්‍ය ආයතනයක් මේ පිළිබඳ තමන්ගෙන් විමසීමක් සිදු නොකළ බවත් අගමැතිවරයා සඳහන් කළේය.

    මෙය පාර්ලිමේන්තුවේ හා අගමැති කාර්යාලයේ කටයුත්තක් බැවින් අදාළ මන්ත්‍රීවරුන්ට එම මාධ්‍ය ආයතනවලට එරෙහිව නඩු පවරා මිලියන පනහ, සියය, දෙසීය ආදී වශයෙන් වන්දි අය කර ගත හැකි බව ද අගමැතිවරයා පැවැසීය. එමෙන්ම තමන් නම් කර යවන ලද නම් ලැයිස්තුව මාධ්‍ය ආයතනවලට එරෙහිව නඩු පැවැරීම අදාළ මන්ත්‍රීවරුන්ට තමන් ලබාදෙන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

    මේ ආකාරයෙන් පසුගිය දිනවල හැසිරුණු කළු මාධ්‍ය පිළිබඳව රටට හෙළි කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් ජනවාරි මාසයේ දී විවාදයක් ලබා‍දෙන බවත් අගමැතිවරයා වැඩි දුරටත් පැවැසීය.

     

     

     

     

     

    Last modified on සෙනසුරාදා, 22 දෙසැම්බර් 2018 15:09

    Latest News