උඳුවප් පොහොය අදයි

දෙසැ 22, 2018

    ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ උඳුවප් පුර පසළොස්වක පොහොය අදයි.

    ඒ නිමිත්තෙන් දිවයින පුරා විහාරස්ථානවල විවිධ ආගමික වැඩසටහන් සංවිධාන කර තිබේ. සංඝමිත්තා මහ රහත් තෙරණිය ඇතුළු මෙහෙණින් වහන්සේ 11 නමක් ප්‍රමුඛ දූත පිරිස, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව රැගෙන දිවයිනට වැඩම කළේ අද වැනි දිනකයි. ඒ සමඟ ශ්‍රී ලංකාවේ භික්‍ෂුණි ශාසනය ආරම්භ විය. මෙරට කාන්තාවන්ට එතෙක් නොතිබූ ජාතික හා ආගමික නිදහස හිමිවූයේ මෙහෙණි සසුන ආරම්භ වීමත් සමඟයි. දෙවන පෑතිස්ස රජුගේ ඉල්ලීමකට අනුව ධර්මාශෝක අධිරාජ්‍යයාගේ අනුග්‍රහය ඇතිව, මෙරට ආගමික හා සමාජයීය වෙනස්කම් රැසක් සිදුවිය.

    මිහිඳු හිමියන්ගේ ලංකා ගමනින් මසකට පසු සංඝමිත්තා තෙරණියගේ ආගමනය සිහි කරමින් පෙරහැර උත්සව ආදිය පැවැත්වේ. ලංකාවාසී බැතිමතුන් මහත් භක්තියෙන් වැඳ නමස්කාර කරන ශ්‍රී පාදය සමය ආරම්භ වන්නේ උඳුවප් පුර පසලොස්වක පොහොය දිනයෙනි.

    උඳුවප් පොහොය නිමිත්තෙන්, දිවයින පුරා විවිධ ආගමික වැඩසටහන් සංවිධාන කර තිබේ. “සඳහම් යාත්‍රා“ පොහොය වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් අද පැවැත්වුණේ, ගම්පහ ජාත්‍යන්තර සාම විහාරස්ථානයේ දීය. පුජ්‍ය ගලිගමුවේ ඥාණදීප හිමියෝ ධර්ම දේශනාව පැවැත්වූහ. සැදැහැවතුන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සද්ධර්ම වර්ෂා පොහොය ආගමික වැඩසටහන් අද දවස පුරා සජීව ලෙස විකාශය කරන්නේ මාවරමණ්ඩිය ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ සිටයි. ධර්ම දේශනා, ධර්ම සාකච්ජා, ප්‍රජා සත්කාර ඇතුළු වැඩසටහන් රැසක් මීට අයත්වේ.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on සෙනසුරාදා, 22 දෙසැම්බර් 2018 12:03

    Latest News