කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 142 දක්වා ඉහළට (වීඩියෝ)

මාර් 31, 2020
  • මෙරටින් වාර්තාවන කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 142 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ, අද තවත් රෝගීන් 20 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වීමත් සමඟයි. කොරෝනා රෝගය වැළඳුණු බවට මෙරටදී ප්‍රථමයෙන්ම තහවුරු වුයේ චීන ජාතික කාන්තාවක්. අනතුරුව තවත් රෝගීන් වාර්තා වීම ආරම්භ වුයේ පසුගිය 11 වැනිදා සිට. ඒ අනුව මෙරටදී දිනක් තුළ වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව මෙයයි.

    මෙරට දී මුල්වරට තහවුරු වූ චීන ජාතික කාන්තාව ද ඇතුලත්ව පුද්ගලයන් 17 දෙනෙකු සම්පූර්ණයෙන් සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබේ. අද දිනයේත් 3දෙනෙකු රෝහලෙන් පිටව ගිය බව වාර්තාවේ. මියගිය සංඛ්‍යාව 02 දක්වා ඉහළ ගියේය. රෝගීන් 123 දෙනෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය, වැලිකන්ද මූලික රෝහල සහ මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

    වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 173 දෙනෙකු සම්බන්ධයෙන් රෝහල් කිහිපයකදී පරීක්‍ෂණ ක්‍රියාත්මකයි. අද වනවිට දිස්ත්‍රික්ක 13කින් කොරෝනා රෝගීන් හමුවී ඇති බව, වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි. වැඩිම පිරිසක් වාර්තා වන්නේ, කොළඹ, කළුතර, පුත්තලම සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලින්.

    කොවිඩ් 19 රෝගය වැළඳී මෙරට දී මියගිය දෙවන රෝගියා දීර්ඝ කාලීන ස්වසන ආබාධයකින් පෙළුණු බවට හෙළි වී තිබේ. ඔහු හෘදයාබාධ තත්වයකින් පෙලී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. මියගිය පුද්ගලයා, 64 වියෙහි පසුවූවෙක්. පදිංචිව සිටියේ, කොච්චිකඩේ ප්‍රදේශයේ. මීගමුව දිස්ත්‍රික් රෝහලේ දී එම පුද්ගලයා මියගොස් ඇත.

    මියගිය පුද්ගලයාගේ ආදාහන කටයුතු මීගමුව, මහ නගර සභා පොදු සුසාන භූමියේ දී ඊයේ රාත්‍රීයේම සිදු කෙරිණ. ජාත්‍යන්තරය පිළිගත් විශේෂ නිරෝදායන ක්‍රම අනුගමනය කරමින් මෙය සිදු කෙරිණ. මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් 13 දෙනෙකු පමණ නිරෝධායනය සඳහා යොමු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    මාර්තු 16 සිට 19 තෙක් වෙනත් රටවලින් මෙරටට පැමිණි සියලු දෙනාට ඒ බව පොලිසියට දන්වා ලියාපදිංචිවීමට ලබාදුන් කාලය හෙට දහවල් 12.00න් අවසන් බව පොලිසිය පවසයි.

    ජනතාවට අත්‍යවශ්‍ය සේවා සැපයීමේදී ඇතිවන ගැටලු නිරාකරණයට සහය දීම සඳහා පොලිසිය විශේෂ නිලධාරීන් පිරිසක් පත්කර තිබේ. මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ සහ කළුබෝවිල රෝහලේ වාට්ටු දෙකක් වසා දමා ඇති බව වාර්තාවේ.

    මීගමුව දිස්ත්‍රික් රෝහල තුළදී මෙරට දී මියගිය දෙවන කොවිඩ් 19 රෝගියා වාර්තාවීම සහ කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු කොවිඩ් 19 රෝගියෙකු බවට තහවුරු වීම ඊට හේතුවයි. රෝහල් දෙකෙහිම අදාල වාට්ටුවල නේවාසික රෝගීන් හා කාර්ය මණ්ඩලය නිරෝධායනයට ලක් කෙරිණ.

    Last modified on අඟහරුවාදා, 31 මාර්තු 2020 20:24

    Latest News