සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට ලැබෙන පරිත්‍යාග බද්දෙන් නිදහස්

මාර් 28, 2020

    කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය හා ඊට සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කරනු පිණිස ස්ථාපනය කළ “COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට” ලැබෙන පරිත්‍යාග බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර තිබේ.

    ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

    අරමුදල සඳහා විශේෂ ගිණුමක් ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ විවෘත කර ඇති අතර, එහි ගිණුම් අංකය85737373 වේ. චෙක්පත් හෝ ටෙලිග්‍රාෆ් සම්ප්‍රේෂණ මඟින් මුදල් තැන්පත් කිරීමට හැකි බවද එම නිවේදනයේ දැක්වෙයි.

    අරමුදලට මුදලින් කරන පරිත්‍යාග ගැන අදාළ ලියකියවිලි සමඟ ජනාධිපති කාර්යාලයට දැනුම් දෙන ලෙස පරිත්‍යාගශීලින්ගෙන් ඉල්ලා සිටියි.

    COVID-19 සෞඛ්ය හා සමාජ සංරක්ෂණ අරමුදල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය සඳුදා ස්ථාපනය කෙරිණි.

    එදිනම එතුමාගේ නියමයෙන් ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියන 100ක් ඊට ප්‍රදානය කරනු ලැබීය.

    ජාතිය මුහුණ පා සිටින අභියෝගය හමුවේ මානුෂවාදී හැඟීමෙන් සහ සහෝදරත්වයෙන් එක්ව ක්‍රියා කරන්නැයි ජනාධිපතිවරයා ඉල්ලා සිටියි.

    ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ දේශීය සහ විදේශීය සමාගම්, විදේශ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන අරමුදල ශක්තිමත් කිරීමට දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    Latest News